පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් මීගමුව දළුවකොටුව ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය යුරෝපය ඇතුළු රටවල් රැසක වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස්කරන ස්ථානයක් වටලා එම ලියකියැවිලි සකස් කිරීමේ උපකරණ, ව්‍යාජ ලෙස සැකසූ ලියවිලි සමඟ රුපියල් දෙකෝටි හැටපන් ලක්ෂයක මුදලක් සහ කිලෝ එකහාමාරක් බරැති රන් භාණ්ඩ සමඟ සැකකරුවෙක් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
අත් අඩංගුවට ගත් මෙම සැකකරු අවුරුදු 60ක් වන අයෙක් බව පොලිසිය කියයි.
මෙම වැටලීම සිදුකර ඇත්තේ පසුගිය 26 දා සෙනසුරාදා ය. එම වැටලීමේ දී
විවිධ රටවල වීසා අච්චු 05ක්, වීසා බලපත්‍ර සඳහා අන්තර්ගත කළ යුතු රටවල් කිහිපයකට අයත් එම්බෝස් මුද්‍රා 12ක්, ව්‍යාජ වීසා බලපත්‍ර ඇතුළත් කළ විදෙස් ගමන් බලපත්‍ර පිටු 11ක්, මෙරට විදෙස් ගමන් බලපත්‍ර 10ක්, බ්‍රිතාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් සහ ඉතාලි විදේශ ගමන් බලපත්‍රයක්, විවිධ රටවලට අයත් වීසා ස්ටිකර් 312ක් ඇතුළු රටවල් රැසකට අයත් වීසා බලපත්‍රවලට අදාල ද්‍රව්‍ය රැසක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා පැවසුවේය.
මෙම ස්ථානයෙන් වීසා සකස් කිරීමට අමතරව ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍රද සකස්කර ඇති බව පෙනී යන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
එසේ සකස් කිරීමට සූදානම් කළ දත්ත ඇතුළත් නොකළ රියදුරු බලපත්‍ර සකස්කරන කාඩ්පත් 03ක්ද මෙහි තිබී හමුවූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.







