-
කාලෙකට කලින් ඉල්ලපු සාකච්ඡාව දෙන්නෙ ජනාධිපතිට මතක් වෙලා තියෙන්නෙ විමල් – ගම්මන්පිල ආණ්ඩුවෙන් ගියාට පස්සේ… ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස…
ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාකච්ඡාවක් සඳහා ආරාධනා කරන්නේ මීට කලකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කළ ඉල්ලීමක් මත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියයි.
හිටපු අමාත්‍යවරුන්වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මෙතෙක් නොකළ සාකච්ඡාව සඳහා ආරාධනා ලැබී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
ලංකාසර කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාව හෙට (07) පැවැත්වෙනු ඇති බවත් ආණ්ඩුව සමග කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුඩම්මාගේ සැලකිල්ලක් දැක්වීම සම්බන්ධව මෙතෙක් කියා ගැනීමට නොහැකි වූ කතාව සහ රටේ උද්ගතව ඇති වර්තමාන තත්වය පිළිබඳව සිය පක්ෂයේ ස්ථාවරය ඇතුළත් යෝජනාවලිය මෙහිදී ජනාධිපතිවරයාට භාර දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගනු ඇති බවත්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමති ධුරවලින් ඉවත්වනවා දැයි අප කළ විමසුමකදී මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ ඒ සඳහා හදිසි වීමක් හෝ කලබලයක් පක්ෂයට නැති බවය.
ඇමතිකම්වලින් ඉවත්වීම සහ ඉවත් නොවීම පිළිබඳව විවිධ අදහස් හා යෝජනා මතුවී තිබුණත් ඒ සම්බන්ධව තම පක්ෂය කිසිදු තීරණයක් ගෙන නැතැයිද ඒ සියල්ල සාකච්ඡා කර පියවරින් පියවර තීන්දු තීරණ ගන්නා බව ද ඔහු කීවේය







