සූරියවැව නුවන් ජයසේකර –
-
අඳුපැලෑනේ බිංදුගේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු පිටවේ යැයි සැක මත මෙම ද්විත්ව ඝාතනය කර ඇති බව හෙළි වෙයි… බිංදු සහ ගෙහිමි කාන්තාව අතරත් සමීප සම්බන්ධතාවයක්…
හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක් තුළදී යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නිවෙස් හිමි කාන්තාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉෂානි අරුනිකා විරසේකර නැමැති 35 හැවිරිදි කාන්තාවකි. මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා ද මේ වනවිට මත්ද්‍රව්‍ය අපරාධයක් සම්බන්ධව බන්ධනාගාර වී සිටින අයෙකි.
මෙම කාන්තාව සහ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන සමරවීර කඩවත ආරච්චිගේ සමන් කුමාර නොහොත් අඳුපැලෑනේ බිංදු නැමැත්තා සහ මෙම කාන්තාව අතර ද සමීප සම්බන්ධතාවක් තිබී ඇති බවත්, දුරකථන විශ්ලේෂණ සහ විමර්ශනවලින් පසුව එම සම්බන්ධතාවය අනාවරණය වී ඇති බවත් විමර්ශන අංශ පවසයි.
ඒ අනුව මෙම කාන්තාව ද ඝාතනයට ආධාර අනුබල දී ඇතැයි යන සැකය මත විමර්ශන අංශ මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඝාතනය වූ පුද්ගලයා සිය අනියම් බිරිය සමග ඝාතනය වූ දින අළුයම එම නිවසින් පිටවී වෙනත් ප්‍රදේශයක සැඟවී යෑමට සැලසුම් කර තිබිය දී ඝාතකයින් පැමිණ ඔවුන් දෙදෙනා ඝාතනය කර තිබීම ද විමර්ශන අංශවල අවධානයට යොමු වී තිබේ.
එමෙන්ම මෙම කාන්තාව රාත්‍රී කාලයේ නිවසේ දොර හැරගෙන වැසිකිලියට යෑමට සැරසීමත් ඒ අවස්ථාවේම සැඟවී සිටි පිරිස් නිවස තුළට කඩා වැදී මෙම ඝාතන සිදුකිරීමත් විමර්ශන අංශවල සැලකිල්ලට ලක් වී ඇත.
ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරවු වී ඇත්තේ මෙම ඝාතනය සිදුකර අඳුපැලෑනේ බිංදු සහ ඝාතන වූ තරුණයා සමීප මිත්රයින් බවත් බිංදුගේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන සියල්ලම ඝාතනයට ලක් වූ තරුණයා දැනගෙන සිටීම මෙම ඝාතනයට හේතු වී ඇති බවත්ය.
එමෙන් ඝාතනය වූ පුද්ගලයාගේ අනියම් බිරිය ඝාතනයට තමන්ට කිසිම අවශ්‍යතාවයක් නොවුන බවත්, තමා මිතුරාට වෙඩි තබද්දී ඔහු එම කාන්තාව පසුපස සැඟවුන නිසා ඇයට වෙඩි වැදුන බවත්ය.
ඝාතන සම්බන්ධයෙන් ඉහත පුද්ගලයා සහ කාන්තාවට අමතරව සමරවීර කඩවත ආරච්චිගේ ධනංජය ( 29), කුමානායක සංජය ප්‍රියදර්ශන (30) යන පුද්ගලයින්ද අත් අඩංගුවට ගෙන සැකකරුවන් අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට අද (08) ඉදිරිපත් කෙරුණි.
ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරේ.







