රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශය වන්නේ ඔහු සම්බන්ධව අපරාධ නඩුවක් පැවරීම බවත්, එම නිර්දේශය ක්‍රියාත්මක කරන ලෙස කතෝලික සභාව ඉල්ලා සිටින බවත්, කොළඹ අගරදගරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළේය.
අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කීවේ මෙම නිර්දේශය පමණක් නොව, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ලබා දුන් සියලු නිර්දේශ ක්‍රියාත්මක වනු දැකීම කතෝලික සභාවේ අභිමතය බවය.
කරුණු පැහැදිලි කරමින් සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පෙන්වා දුන්නේ මේ වනවිට පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශන විධිමත්ව සහ ගැඹුරින් කිරීමට රජයේ නිර්දේශ මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය පෙනී යන බවය. වසර 06කට පෙර සිදුවූ අපරාධයක ගැඹුරු සහ සංකීර්ණ තොරතුරු සොයගෙන අපක්ෂපාතීව සහ විධිමත්ව, විනිවිද භාවයකින් එම පරීක්ෂණ සිදුකර අවසන් ප්රතිඵළය ලබා ගැනීමට අවශ්‍ය කාලය ලබා දිය යුතු බව ද උන්වහන්සේ පැවසූහ.
සිරිල් ගාමිණි පියතුමා මෙසේ ද කීවේය.
” ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශයේ තියෙන්නේ ඔහුට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ ඇති ප්‍රතිපාදනවලට අනුව ඔහුට විරුද්ධව අපරාධ නඩුවක් පවරන්න ඕන කියන එක. ඒ නිර්දේශය කරලා තියෙන්නේ නීතිපතිවරයාට.”
” එතකොට අපේ මුල ඉඳන්ම කිව්වේ මේ නිර්දේශය විතරක් නෙමෙයි. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් දීලා තියන නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කරන්නට කියලා.
මේ විනය ක්‍රියාමාර්ගය අරගෙන ඒ අනුව තීරණයක් අරන් තියන එක ගැන අපි සතුටුයි.”
“නමුත් පාර්ලමේන්තු විමර්ශන කොමිෂන් සභාවෙන් දීලා තියන හැම නිර්දේශයක්ම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්නට ඕන. මොකද ඒකට හේතුව. මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සමූහ ඝාතනයක්. නිලන්ත ජයවර්ධනට සුමාන ගණනකට කලින් ලැබිලා තිබුණේ මේ ප්‍රහාරය එල්ල කරන්නේ කවුද කියලා කොහාට ද ප්‍රහාරය එල්ල කරන්නේ කියලා කියැවෙන ඉතාම ස්ථිර තොරතුරු . සුමාන ගණනක ඉඳලා ලැබුණ මේ නිශ්චිත තොරතුරු ප්‍රහාරයට පැය භාගයකට කලිනුත් ලැබිලා තියනවා.”
“එහෙම ලැබිලා තියෙද්දිත් ආරක්ෂක කමිටුවෙ රැස්වීමක් පැවැත්වෙලා තියනවා. නමුත් මේ තොරතුරු පිළිබඳව ආරක්ෂක කමිටු රැස්වීමේ දී ඔහු කරුණු ඉදිරිපත් කරලා නෑ. ඒක බුද්ධි තොරතුරක් නෙමෙයි කියලා තමයි ඔහු කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක සාමාන්‍ය තොරතුරක්”
“නමුත් සාමාන්‍ය තොරතුරක් බුද්ධි තොරතුරක් බවට පත් කරගැනීමේ ක්‍රියාමාර්ගයක් තියනවා කියලා පාස්කු විමර්ශන කොමිෂන් සභාවේ කියනවා. ඒ ක්‍රියාමාර්ගය ඔවුන් අරගෙන නෑ.
ඒ වගේම ඔහු පාවිච්චි කළ ලැප්ටොප් එකේ සියලුම දත්ත මකා දාලා තියනවා. ඒ වගේම ඔහුගේ ජංගම දුරකථනයේ තිබ්බ සියලුම දත්තත් ඔහු මකා දාලා තියනවා.”
“මේ දේවල් තොරතුරු හැටියට ඔහු පාවිච්චි කළා නම් මේ ප්‍රහාරය වලක්වා ගන්න තිබුණා කියන එක තමයි විමර්ශන කොමිෂන් සභාව කියන්නෙ.”







