අධිකරණ පද්ධතියම බරපතල අපහාසයට ලක් කරමින් හිටපු ජනාධිපතිවරයා රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ ඝාතකයා නිදහස් කළ බවත් එම ඝාතකයා නිදහස් කිරීම පසුපස හිටපු ජනාධිපතිවරයා විසින් විශාල අල්ලසක් ලබා ගත් බවටවන මතයක් ජනතා අතර පවතින බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
බරපතල අපරාධ කර ඔප්පු වීමෙන් අනතුරුව මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෙක් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ හැකි නමුත් එය ජනාධිපතිවරයා කළ යුත්තේ තමන් වෙත පැවරී ඇති අති විශාල සමාජ වගකීම පිළිබඳ සමාලෝචනය කිරීමෙන් අනතුරුව බව ජෙනරාල් ෆොන්සේකා කීවේය.
මේ බව අද ප්‍රකාශයට පත් වූයේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත විසින් මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලබා ඇති සිරකරුවන්ට සමාව දීමේ සිවු අවුරුදු සමාලෝචන සම්ප්‍රදාය යළි ආරම්භ කිරීමට කටයුතු කිරීම පිළිබඳ ජෙනරාල්වරයාගේ කතාව අතර තුරදී කළ පැහැදිලි කිරීමේ දීය.
රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත කීවේ 1998 සිට නවතා දැමූ මෙම පිළිවෙත අවුරුදු 22කට පසු යළි ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවත් එය ඉලක්ක ගත පුද්ගලයෙක් වෙනුවෙන් ලබා දෙන සහනයක් නොවන බවත් ය.
එහිදී යළි කතාව ආරම්භ කළ ජෙනාරාල්වරයා මෙසේ පැවසීය.
“ සිරකරුවෙක් පිළිබඳ ඉල්ලීම කරන්නෙ බන්ධනාගාර නිලධාරීන්. ඔවුන් එය එවන්නේ අධිකරණ ඇමති වරයාට. අනතුරවු මේ සිරකරු ගැන ඇගයීමක් කරන්න විශ්‍රමික විනිසුරුවෙක්, විශ්‍රාමික නීතිපති වරයෙක්, බන්ධනාගාර නිලධාරියෙක්, අධිකරණ නිලධාරියෙක්, මානසික රෝග විශේඥයෙක් සහිත කමිටුවකට යවනවා. අනතුරුව ඔවුන්ගේ මතය අදාල පුද්ගලයාට තීන්දුව ලබා දුන් අධිකරණ විනිසුරුගෙන විමසනවා. එහෙම තුළනාත්මක වාර්තාවක් තමයි ජනාධිපතිවරයාට එන්න ඕන. එම වාර්තාව සම්බන්ධවත් ජනාධිපතිවරයා තීන්දුවක් ගන්න ඕන තමන් පැවරුන සමාජීය වගකීම් කල්පනා කරලා බලලා.
“මින් පෙර හිටපු ජනාධිපති රෝයල් පාර්ක් සිද්ධියේ ඝාතකයා නිදහස් කළේ කිසිම ක්‍රමවේදයකින් තොරවයි. අධිකරණ පද්ධතියම එයින් හෑල්ලුවට ලක්වුණා. ජනතාව කිව්වා හිටපු ජනාධිපතිවරයා අල්ලසක් අරන් මේ අපරාධකරුව නිදහස් කළා කියලා.“ .
“මේ රජය ආවට පස්සේ සුනිල් රත්නායක කියන හමුදාවෙ හිටපු ලාන්ස් කෝප්‍රල්ව නිදහස් කළා. චෝදනාව තිබුණා ඔහු විසින් 08ක් පුරවැසියන් ඝාතනය කළා කියලා. අලිමංකඩට ගහනකොට හමුදාව පසුබැස්සා. ඒ අවස්ථාවෙ එය පාලනය කිරීමේ වගකීම මම භාරගත්තා. 12000 දෙබලු අපි පුනරීන්වලදි නවත්වා ගත්තා.
මේ කාලයේ දි සිවිල් වැසියන් සියලු දෙනාම තමන්ගෙ ස්ථාන අත්හැරලා යනවා. අපි ඔවුන්ව ඉවත් කරනවා. එය තමයි සම්ප්‍රදාය. එහෙත් එසේ තමන්ගෙ නිවාස ඉඩකඩම් අත් හැර ගිය පුද්ගලයො නැවත තම ගෙවත්තෙ පලදාව කඩා ගන්න ඇවිත් යනවා.
2000 දෙසැම්බර් 19 දා එහෙම තමන්ගෙ ඉඩමට ආපු කුඩා දරුවන් තිදෙනෙක් ඇතුළු සිවිල් වැසියන් 08ක් මේ පුද්ගලයා ඇතුළු සෙබළු හයදෙනෙක් විසින් ඝාතනය කරලා තිබුණා. ඒ පහර දීලා සිහි නැතිවුනාම බෙල්ල කපලා මරලා. ඒ මලසිරුරු වළදාලා තිබුණා.
මේ සිද්ධියෙදි එක් පුද්ගලයෙක් දිවි බේරගත්තා. ඔහු මේ සම්බන්ධව රතුකුරුසයට පැමිණිලි කළා. ඝාතකයා ලෙස සුනිල් රත්නායක හඳුනා ගත්තා. ඔහුම මරපු අය වළ දැමූ තැන් පෙන්නුවා. හිටපු හමුදාපතිවරයෙක් ලෙස මේ අපරාධය විශ්වාස කරන්න බෑ. සුනිල් රත්නායකට පමණක් මරණ දඬුවම නියම වී අනික් අය නිදහස් උනේ කොහොමද කියලා හිතාගන්නත් බෑ.
කවුරු කළත්, මොන පුද්ගලයාට කළත් මේ සියල්ල ධරුණු අපරාධ. පිස්සු පූසා කොමිසමෙන් මේ ධරුණු අපරාධකරුව නිදහස් කළත් අපි රණවිරුවො නිදහස් කළා කියලා මේ ආණ්ඩුවට මේවගේ වැඩ කරලා කොඩිය දාගන්න බෑ…







