පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් විමසීම වෙනුවෙන් පාර්ලිමේන්තු කමිටු සභාපතිවරයෙකු හෝ පාර්ලිමේන්තු නිලධාරියෙකු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවිය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
හිටපු කෝප් සභාපති සුනිල් හන්දුනෙත්ති මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කරන ලද ජනාධිපති කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ බව කීය.
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 17 වන වගන්තියට අනුව, පාර්ලිමේන්තුවේ හෝ පාර්ලිමේන්තු කමිටුවක සාමාජිකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ නිලධාරියෙකු පාර්ලිමේන්තුවේ නිසි අනුමැතියකින් තොරව පවත්වන ලද නඩු විභාග හෝ විභාග සම්බන්ධයෙන් වෙනත් තැනක සාක්ෂි දීමට කැඳවිය නොහැක.
මෙම ප්‍රශ්නය අද පාර්ලිමේන්තුවේදී මතුකරන ලද්දේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසිනි.
එහිදී වැඩිදුරටත් කථානායකවරයා අවධාරණය කළේ තම අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවේ හෝ පාර්ලිමේන්තු කාරක සභාවල සිදු වූ කරුණු පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවට සාමාජිකයින් හෝ නිලධාරීන් කැඳවීමට හැකියාවක් නොමැති බව ය.
බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම පිළිබඳ කෝප් කමිටුවේදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත් සුනිල් හන්දුනෙත්ති මහතා ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.
මෙමගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇත්දැයි සොයාබලන බව කථානායකවරයා පැවසීය.







