මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජූලි චන්ග් මහත්මිය, ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූවාය.
ජූලි චන්ග් සිය ධුර කාලය තුළ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ අඛණ්ඩ උත්සාහය මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් විය.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජනපදය සමඟ සම්බන්ධ වෙමින් ඇය ඉටු කළ කාර්යභාරය වෙනුවෙන්ද මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත් වූ සාකච්ඡාවලදී ඇය ලබා දුන් සුවිශේෂී සහාය ඇගයීමට ලක් කළේය.
2022 පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස පත්ව මෙරටට පැමිණි ජූලි චන්ග්ගේ සිව් වසරක ධූර කාලය තුළ, ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය ඇතුළු දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථාන කිහිපයක් ද සළකුණු විය.







