තමන් හම්බන්තොට නගර සභාවේ නගරාධිපති ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉල්ලා අස්වෙන බව එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසා ඇතැයි වාර්තා වේ.
අද පැවැති නගර සභා මාසික රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
තමාට ලුණු සංස්ථාවේ සභාපතිධුරය භාර ගන්නා ලෙසට ආරාධනාවක් ලද බවත් ඉදිරියේදී තමා තීරණයක් ගෙන නගරාධිපති ධුරයෙන් ඉවත්වන බවටත් එරාජ් පවසා තිබූ බව ද සඳහන් ය.
එරාජ් ප්‍රනාන්දු මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී තරග කළේ මෛත්‍රී හිතවාදීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි.
එවර නගර සභාවේ බලය හිමි වූයේ එක්සත් ජාතික පක්ෂයට වුවද නගරාධිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී එජාප නාමයෝජනාව 9-11ක් ලෙස පරාජය කරමින් එරාජ් ප්‍රනාන්දු මහතා ජයග්‍රහණය කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ද සහාය ඇතිව ය.
කෙසේවෙතත් පසුගිය දිනවල හම්බන්තොට ලුණු ලේවායේ සභාපති නිතිඥ නිශාන්ත සඳබරණ මහතා ඉවත් කරන ලෙසට එරාජ් ප්‍රනාන්දු මහතා සිදු කළ උපවාසය සහ උද්ඝෝෂණයට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ සහාය ලැබී තිබුණි.









