අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් විමර්ශනවල ප්‍රගතිය අනාවරණය කළහ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මෙහිදී අවධාරණය කළේ, මෙම ප්‍රශ්න කිරීම් හරහා පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ මහ මොළකරු පිළිබඳ තීරණාත්මක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවය.
“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ දීර්ඝ විමර්ශනවලින් හෙළි වූ සාක්ෂි මත පදනම්වයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේ. ඔහුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් විමර්ශනවල ඉදිරි ගමනට අතිශය වැදගත්,” යැයි ඔහු පැවසීය.
රඳවා තබා ගැනීමේ නීතිමය තත්ත්වය
නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ඕනෑම සැකකරුවෙකු පැය 72ක් (දින 03ක්) පොලිස් භාරයේ රඳවා තබා ගැනීමට නෛතික ප්‍රතිපාදන පවතින බවය. එම කාලය අවසානයේදී හෙළිවන කරුණු මත පදනම්ව, අධිකරණය හරහා දීර්ඝ කාලීන රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පොලිසියට එරෙහිව එල්ල වන සමාජ මාධ්‍ය ‘කැම්පේන්’ එක
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පොලිසියට එරෙහිව එල්ල වන විවේචන පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සජීව මැදවත්ත මෙසේ පැවසීය:
“සමහරු කියනවා ඔහුව අත්අඩංගුවට ගත්තේ ඇයි කියලා පොලිසියට විරුද්ධව කැම්පේන් එකක් යනවා කියලා. නමුත් සැබෑ තත්ත්වය නම් ඔහුව අත්අඩංගුවට නොගත්තේ නම් තමයි පොලිසියට විරුද්ධව කැම්පේන් එකක් සිදුවිය යුතුව තිබුණේ. පොලිසිය සිය කාර්යය නිසි ලෙස ඉටු කර තිබෙනවා.”
විමර්ශන රහසිගතව
මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ සම්පූර්ණ තොරතුරු අනාවරණය කිරීම දැනට අපහසු බව පැවසූ උසස් පොලිස් නිලධාරීන්, විමර්ශනවලට බාධාවක් නොවන අයුරින් ඉදිරියේදී මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළහ.
පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වූ සුරේෂ් සලේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ ‘චැනල් ෆෝ’ නාලිකාව හරහා ද බරපතළ චෝදනා එල්ල වී තිබූ අතර, වත්මන් ආණ්ඩුව යටතේ පාස්කු විමර්ශන කඩිනම් කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්රවල දැඩි අවධානයට ලක්ව තිබේ.







