සිවිල් දඩුවම් ලැබූ වරදකරුවන් නිවාස අඩස්සි ගත කිරීම පිළිබද පනත් කෙටුම්පත මෙම වර්ෂයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න පවසයි.
බන්ධනාගාරවල පවතින අධික තදබදයට විකල්පයක් වශයෙන් හදුන්වා දෙන නව ක්‍රමය සුළු වැරදි සම්න්ධයෙන් අදා වන බව අමාත්‍යවරයා කීවේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පල්ලකැලේ එළිමහන් සිරකඳවුරේ රැඳවුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබාදීම නිමිත්තෙන් පැවැති උත්සවයට ඊයේ (03) ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.
යෝජිත මෙම නව වැඩසටහන යටතේ නිවාස අඩස්සිගත කරන වරදකරුවන් GPS තාක්ෂණය මගින් නිරීක්ෂණය කරන බව එම ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා ඇප පනතට මෙම වර්ෂයේදි සංශෝධන එක් කරන බව ද ඔහු පැවසීය.
බන්ධනාගර පද්ධතිය තුළ සිරකරුවන් 13 000ක් රැඳවීමට හැකියාව ඇති නමුත් මේ වන විට එහි 33 000ක් රඳවා ඇතැයි කී අමාත්‍යවරයා ධාරිතාව ඉක්මවා ඇති බැවින් විවිධ ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි ද කීවේය.
යුක්තිය මෙහෙයුම යටතේ දිනපතා දහසකට ආසන්න පිරිසක් පොලිස් භාරයට පත්වන බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන විට බන්ධනාගාර තුළ තදබදය ඉහළ යන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් ගැටුම්, සෞඛ්‍ය ආදී ගැටලු පැන නගින බවත් වරද කරුවන් දඩුවම් කාලය නිම කොට මුදා හැරීම වෙනුවට පුනරුත්තාපනය හා වෘත්තිය පුහුණුව ලබාදීමට ද වැඩසටහනක් සකස් කොට ඇතැයි රාජ්‍ය අමත්‍යවායර කීවේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව රැඳවූව පුහුණු කිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ඉදිරි දෙසතිය ඇතුළතදී වාර්තාවක් එළිදැක්වෙන බව ද පැවසීය.
ඒ අයුරින් වෘත්තීය පුහුණු අධිකාරිය ඇතුලුව සුදුසුකම් ලත් ආයතන සමඟ එක්ව රැඳවුවන් වෘත්තිය පුහුණුවට යොමු කර දඩුවම් කාලය නිමවූ පසු වෘත්තිකයක් හුරු පුද්ගලයින් ලෙස සමාජයට යොමු කරන බව ද අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වෘත්තිය පුහුණුව ලබාදිම යටතේ බේකරි නිෂ්පාදන කරා ඔවුන් යොමු කිරීම මෙහිදී සිදුවූ අතර සමාරම්භක අවස්ථාව සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, බන්ධනාගාර අධිකාරී සුජීව විජේසේකර, පල්ලකැලේ එළිමහන් සිරකඳවුරේ සහකාර බන්ධනාගාර අධිකාරී අයි. ජී. පෙරේයා ඇතුලු නිලධාරීන් පිරිසක් එක් වූහ.







