මෙතෙක් මාසිකව ගණනය කළ කුකුළු බිත්තරයක් සඳහා වන නිෂ්පාදනය වියදම සතිපතා ගණනය කර ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය හේමාලි කොතලාවල පවසයි.
මේ අනුව සෑම සතියකම සිකුරාදා දින බිත්තරයක නිෂ්පාදන වියදම ප්‍රකාශයට පත් කරන බවත් වර්තාමානයේ පවතින නිෂ්පාදන පිරිවැය සැලකීමේ දී කුකුළු බිත්තරයක් රුපියල් 50 කට වඩා අඩු මිලකට පාරිභෝගිකයින් අතට පත්කළ හැකි බවත් ඇය කීවාය.
පසුගිය දෙසැම්බර් මාසය දක්වාම මෙම නිෂ්පාදන වියදම ප්‍රකාශයට පත් කිරීම මාසිකව සිදු කෙරුණත් වෙළෙඳ පොළේ පවතින බිත්තර මිල හා සම්බන්ධ ගැටලුව මුල්කර ගනිමින් සතිපතා මෙය ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බවද ඇය පැවසුවාය.
බිත්තර මිල සම්බන්ධයෙන් එක් එක් පාර්ශව මගින් නිර්දේශ ලබා දුන්නද මිල තීරණය කරනු ලබන්නේ පාරිභෝගික අධිකාරිය මගින් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කළාය.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 2010 වසරේ සිට බිත්තර නිෂ්පාදන වියදම ගණනය කරන බවත් එය කරනු ලබන්නේ බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කිරීමට නොව බිත්තර නිෂ්පාදකයින්ට තමන්ගේ වියදම සම්බන්ධ යම් අවබෝධයක් ලබා ගැනීම පහසු කිරීම පිණිස බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.
බඩ ඉරිගු කිලෝවක මිල රුපියල් 250 සිට මේ වනවිට රුපියල් 152 ක් පමණ දක්වා පහත බැස තිබෙන බවත් ඉදිරියේ දී බඩ ඉරිගු අස්වැන්න ලැබීමට නියමිත බවත් කී අධ්‍යක්ෂ ජනරාල්වරිය ඒත් සමඟ බිත්තර නිෂ්පාදන මිල තවත් පහළ යනු ඇති බවද අවධාරණය කළාය.
බිත්තරයක් සාමාන්‍ය උෂ්ණත්වය යටතේ උපරිමයෙන් තබාගත හැක්කේ දින 7-10 ත් අතර කාලයක් වුවත් ශීත කාමර වල ගබඩා කර මාසයක් පමණ තබාගත හැකියැයි කී අධ්‍යක්ෂ ජනරාල්වරිය බිත්තර ගබඩා කර තබා ගනිමින් එහි මිල ඉහළ දැමීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම තම ආයතනයේ වගකීමක් නොවන බවද සඳහන් කළාය.







