මනම්පිටිය නිමල් ජයරත්න –
ඉතාලියේදී සැකකටයුතු ලෙස හදිසියේ මියගිය තම ස්වාමියාගේ සිරුර මාස දහයකට ආසන්න කාලයක් එරටේ මල්ශාලාවක තැන්පත් කර තිබිමෙන් එම සිරුර භාරගෙන අවසන් කටයුතු කිරීමට, තම පුතුට සහ තමාට ඉතාලියට යෑමට තානාපති කාර්යාලයෙන් මෙතෙක් වීසා ලබා දී නැති බවත්, මේ වනවිට තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවත් මහනුවර, මාවිල්මඩ පටුමග අංක 51/04 ලිපිනයේ පදිංචි එක්දරු මවක වන 48 වියති බී.නිරෝෂා ශාමලී හැඬු කඳුළින් පැවසුවාය.
මෙලෙස සැකකටයුතු ලෙස ඉතාලියේදී මියගොස් ඇත්තේ, 51 වියති එක්දරු පියෙකු වන වීරක්කොඩි රාළලාගේ සම්පත් චන්දන වීරක්කොඩි නැමැති හිටපු යුද හමුදා කපිතාන්වරයෙකි

මියගිය තම ස්වාමියාගේ මළසිරුර එරටේ මල්ශාලාවක තැන්පත් කර තිබෙන අතර ඒ සඳහා තැන්පත් කුලි වශයෙන් මෙරටේ මුදලින් දිනකට රුපියල් 18,000 ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් ඒ අනුව මෙතෙක් රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් ගෙවීමට සිදුව ඇති බවද නිරෝෂා ශාමලී සඳහන් කළාය.
තම ස්වාමියා 2007 ජූලී 27 වෙනිදා ඉතාලියේ ආයතනයක සාමාන්‍ය වැටුපකට සේවය කිරීමට ගොස් සිටියදී 2023 අප්‍රේල් 21 වෙනිදා හදිසියේ මියගොස් ඇති බවට, සේවය කළ ආයතනයෙන් තමාට දැනුම් දුන් බවත්, තම ස්වාමියාට කිසිදු රෝගයක් නොතිබු බවත්, එම මරණය සැකකටයුතු බැවින් එරටට ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර අවසන් කටයුතු කිරීමට මෙරටේ අදාළ බලධාරීන් අවධානය යොමු කර තමන්ට, එකොළොස් වියති එකම පිරිමි දරුවාට තානාපති කාර්යාලයෙන් වීසා ලබාදීමට මැදිහත්වන ලෙස නිරෝෂා ශාමලී ඉල්ලීමක් කළාය.
ඇය මෙසේද සඳහන් කළාය..
ඉතාලියේදී මගේ මහත්තයා නැතිවෙලා දැන් මාස දහයටත් ලංවෙනවා මටයි පුතාටයි එයාගේ අවසන් කටයුතු කරන්න යන්න වීසා ලබා දෙන්නෙ නෑ, වීසා හදාගන්න ගියාම මම පුදුම පීඩනයකට ලක්වෙලා ඉන්නේ, මගේ පුතත් නිතර කම්පනයෙන් ඉන්නේ තාත්තා බලන්න යන්න ඕනේ කියලා. නමුත් අපි දෙන්නට තවමත් තානාපති කාර්යාලයෙන් වීසා නොදීම නිසා මහත්තයාගේ අවසන් කටයුතු කරන්න යන්න බැරිවෙලා ඉන්නවා.
තානාපති කාර්යාලය නිලධාරීන් හිතාගෙන ඉන්නේ අපි දෙන්නා ඉතාලියේ නවතින්නම යනවා කියලා. මේ මරණය සැක නිසා ගිහිල්ලා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කරලා ඒ රටේම අවසන් කටයුතු කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ,
ඉතාලියේ මල්ශාලාවේ මිනිය තැන්පත් කරන් ඉන්නවට දවසකට මම රුපියල් 18,000ක් ගෙවන්න ඕනේ. එහෙම එකතු වෙලා දැන් ලක්ෂ හැටකටත් වැඩි මුදලක් මට ගෙවන්න වෙලා, ඉතින් තවත් ඒ රටේ මල්ශාලාවේ මිනිය තැන්පත් කරගෙන ඉන්නාවාට දවසකට රුපියල් 18.000 ගානේ ගෙවන්න වෙනවා, එච්චර අපිට සල්ලි නැහැ.
ඉතින් මට මහත්තයාගේ අවසන් කටයුතු කරන්න මටයි, පුතාටයි, ඉතාලියට යන්න අවසරය ලබාදෙන්න අවස්ථාව සලසා දෙන්න කියලා අතිගරු ජනාධිපතිතුමාගෙනුයි, විදේශ කටයුතු ඇමතිතුමාගෙනුයි, අදාළ බලධාරින්ගෙනුයි ඉල්ලීමක් කරනවා.” නිරෝෂා ශාමලී හඬා වැටමින් ඉල්ලීමක් කළාය.







