විමල් වීරවංශ සිය අඛණ්ඩ සත්‍යග්‍රහය නිමා කළේය. ඔහු කීවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරකට කල් දැමීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අකුලා ගැනීමට මෙන්ම එම ප්‍රතිසංස්කරණය ගෙනා අගමැතිනියගේ ඉවත්වීමට සාපේක්ෂ බවය. එමෙන්ම මේ තමන්ගේ අඛණ්ඩ සත්‍යග්‍රහයට කොමාවක් මිස නැවතීමේ තිතක් තැබීම නොවන බවත් වීමල් පැවසුවේය.
කෙසේ වෙතත් අද කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මෙසේ පැවසුවේය. “ 6වන ශ්‍රේණියට අදාල අධ්‍යාපන ප්රතිසංස්කණය වසරක් කල් දැමීම ඔහුගේ උපවාසය නවත්වන්න කිසිම හේතුවක් නෙමෙයි. ඔහු කීවේ අධ්‍යාපන ඇමතිවරිය ඉවත් කරනතුරු සහ අගමැතිවරිය ඉවත් කරන තුරු ඔහුගේ උපවාසය දිගටම පවත්වාගෙන යනවා කියලා. කිසිම ප්‍රශ්නයක් නෑ. විභාග දෙපාර්තමේන්තුවේ කටයුතුවලට සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතුවලට බාධාවක් නොවී ඔහුට සෑහෙන කාලයක් මේ උපවාසය පවත්වාගෙන යන්න පුලුවන්. කවුරුත් තැඹිලි දෙන්න එන්නේ නෑ….”
ජනාධිපතිවරයා මෙම තීන්දුව ගනු ලැබුවේ අධ්‍යාපන ක්ෂේත්රයේ විද්වතුන් විශ්විද්‍යාල ආචාර්යවරුන් සහ අධ්‍යාපන වෘත්තීය සමිති සමග කළ දීර්ඝ සංවාදයකින් පසුව බවත් අල්ප හෝ ජනතා අවිශ්වාසයක් සහිතව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ කුඩා ඉදිරියක් හෝ අපේක්ෂා නොකරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
එහෙත් විමල් වීරවංශ සිය සත්‍යග්‍රහය හරහා මේ ජයග්‍රහණය අත්පත් කරගත් බව ප්‍රකාශ කළේය. රජය සිය ඉල්ලීම්වලට අවනත වූ ආකාරය හුවා දක්වමින් අඛණ්ඩ සත්‍යග්‍රහය නිමා කළේය. මල් කළඹ ගෙන පැමිණි අය විමල්ට සුබ පෑතුහ. ප්‍රහසනය සන්තෝසයෙන් නිමා වූයේය.
සාමාන්‍යයෙන් විරෝධතාවයක් සාර්ථක වන්නේ රජය එයට බිය වී පසුබෑමකට ලක්වුවහොත් පමණි. එහෙත් මෙහිදී රජය විමල් වීරවංශට සිය විරෝධතාවය දිගටම පවත්වාගෙන යන ලෙස ප්‍රසිද්ධියේ ආරාධනා කළේය. විමල් ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළ බව පෙනුණි.
පවතින ආර්ථික අර්බුදය හෝ ජනතාව මුහුණ දෙන ප්‍රායෝගික ගැටලුවලට වඩා, ලිංගික අධ්‍යාපනය වැනි සමාජයේ බහුතරයක් පහසුවෙන් කුපිත කළ හැකි “සදාචාරාත්මක” මාතෘකාවක් තෝරා ගැනීම මේ විරෝධතාවයේ ප්රමුඛ ලකුණය. මැතිවරණයක් ආසන්න වෙමින් පවතින සන්දර්භයක, අමතක වී යන දේශපාලන චරිත නැවත කරළියට පැමිණීම සඳහා මෙවැනි විරෝධතා පලිහක් කරගන්නා ආකාරය ලංකාවේ දේශපාලනය තුළ සුලභය.
අනෙක මේ ඉල්ලීම්වල ඇති පදනම් විරහිත බව යළි යළිත් මතුවුනේය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ගැටලුවකදී විෂය නිර්දේශය සංශෝධනය කරන ලෙස ඉල්ලීම වෙනුවට, අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලා අස්වීම සඳහා අභියෝග කරන මේ පුද්ගලයින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගන්නා ලෙස බල කරමින් සිටියහ.
එමෙන්ම පෙළපොතේ අන්තර්ගතය පිළිබඳව විද්‍යාත්මක හෝ අධ්‍යාපනික විචාරයක් ඉදිරිපත් කරනවා වෙනුවට, එය “රට විනාශ කරන කුමන්ත්‍රණයක්” ලෙස වීරවංශ සුපුරුදු ලෙස විග්රහ කළේය. රජය ප්‍රතිසංස්කරණ කල් දැමූ බව පැවසීමත් සමඟ, තමන් එම “කුමන්ත්‍රණය” පරාජය කළ බව පවසමින් සත්යග්රහයෙන් ඉවත් විය. මේ අටමගලය පටන් ගන්නා මොහොතේම මෙය විගඩමක් බව අප කීවේ විමලේ ගේ ස්වරූපය දන්නා නිසාය. මිනිස්සු මේ ප්‍රහසනය හරියටම කියවාගෙන තිබිණි.
මෙම සත්‍යග්‍රහය අවසන් කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි කතාබහක් නිර්මාණය විය. එහිදී බහුතරයක් පරිශීලකයින් මෙය දේශපාලන “ප්‍රහනයක්” ලෙස හඳුන්වනු ලැබීය. රජය විසින් සත්‍යග්‍රහය කරගෙන යන ලෙස කළ අභියෝගය හමුවේ, කිසිදු පූර්ව එකඟතාවයකින් තොරව සත්‍යග්‍රහය අත්හැරීම බොහෝ දෙනාගේ උපහාසයට ලක්විය.
විශේෂයෙන්ම, “පැය 24 කින් අවසන් වන අඛණ්ඩ සත්‍යග්‍රහය” සහ “රජය බය වෙලා නෙවෙයි, විමල්ට නිදිමත වෙලා” වැනි උපහාසාත්මක වැකි (Memes) සමාජ මාධ්‍ය පුරා ව්‍යාප්ත විය.
තවද, කිසිදු පදනමක් නොමැතිව අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලා අස්වීම වැනි අන්තගාමී ඉල්ලීම් ඉදිරිපත් කර, පසුව ඒවා අමතක කර දමා සාමාන්‍ය පරිදි නික්ම බොහෝ දෙනාට සිනා උපදවන ප්‍රහසනයක් වී තිබුණු බව දුටුවෙමු.
අපට විමලේ වැදගත් වන්නේ ඒ නිසාය. දේශපාලනික වශයෙන් බොහෝ දුර්ග අවස්ථාවල දී ඔහු විහිලු සපයන්නේය. සමාජයේ බොහෝ ගැඹුරු කථිකාවක් ඇතිවිය යුතු තැනක ඔහු කාවඩි නටන්නේය. මෙවැනි විකට රූපී පනික්කියන් විඩාපත් සමාජය සතුටින් තබන්නට උපකාරී වන බව අද අපි යළිත් සනාථ කරගතිමු.
ස්තුතියි විමලේ… මේක තමයි ඔයා ලඟදි කළ හොඳම විහිලුව….







