සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද දහවල් මහර බන්ධනාගාරයේ සංචාරයක නිරත විය.
මහවැසි පවතින අවස්ථාවේ covid වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සම්පූර්ණ ආරක්ෂිත ඇඳුම් කට්ටල පැළඳ ගිය මන්ත්‍රීවරුන්ට ප්‍රධාන ගේට්ටුවෙන් බන්ධනාගාරය වෙත පිවිසීමට මද වේලාවක් රැඳී සිටීමට සිදු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම තත්ත්වයට හේතුවී තිබුණේ ඒ අවස්ථාව වනවිට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු සිදු කරන බැවින් ඒ මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇතුළු වීමට අවසර දිය නොහැකි බවට බන්ධනාගාර බලධාරීන් විසින් ප්‍රකාශ කිරීම නිසා බව ද ඔහු පැවසීය.
නලින් බණ්ඩාර, දිලිප් වෙදාරච්චි, මුජිබර් රහුමාන්, රෝහිණී කවිරත්න, රෝහණ බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් මෙම ගමනට එක්වූ අතර ඔවුන් බන්ධනාගාර පරිශ්‍රයට පිවිසීමට අවසර ලැබීමෙන් පසු එම ස්ථානයට ගොස් රැඳවූවන් සහ නිලධාරින් හමුවූ බව සදහන් කළේය.
මෙහිදී දැනට බන්ධනාගාරයේ තත්වය ආරක්ෂිත බවත්, තත්වය සමනයට පත් වී ඇති බවත් රැඳවූවන්ට අවශ්‍ය ආහාරපාන සහ අදාළ පහසුකම් නියමිත පරිදි ලැබෙන බවත් ඔවුන් නිරීක්ෂණය කළ බව සඳහන් කළ අතර බන්ධනාගාරයේ රැඳවියන් බහුතරයකට කොවිඩ් ආසාදනය වී ඇති බවද අනාවරණය වූ බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ රාගම රෝහලේ තබා ඇති මෘත ශරීර සම්බන්ධයෙන් කරන ලද PCR පරීක්ෂණවලදී සිද්ධිය මත මියගිය රැඳවූවන් එකොළොස් දෙනාගෙන් 10කට කොවිඩ් ආසාදන වී ඇති බවට නවතම තොරතුරක් ලැබී ඇති බවයි.
යලි පිටතට පැමිණෙන අවස්ථාවේ රැදවියන්ගේ ඥාතීන් ඇතුළු සමීපතමයන් රැසක් ප්‍රධාන ගේට්ටුව අසල රැඳී සිටි අතර ඔවුන් සමග ද ඇතුළත තත්ත්වය පිළිබඳව මන්ත්‍රීවරු තොරතුරු පැහැදිලි කළහ.
බන්ධනාගාර තුළ තත්ත්වය ආරක්ෂිත බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් හෙට දිනය පුරා පාර්ලිමේන්තුවේදී කතා කිරීමට සූදානම් වන බවත් එම මන්ත්‍රීවරු රැස්ව සිටි පිරිස හමුවේ පවසා සිටියහ.







