පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තරග හා දත්ත තොරතුරු ඇතුළත් ලොව වඩාත් පැරණි හා ප්රමුඛ ක්‍රීඩා වෙබ් අඩවිය වන ක්‍රික් ඉන්ෆෝ ( Cricinfo ) සමග පැවති ගිවිසුම අහෝසි කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.
මේ අනුව ගිය සති අන්තයේ පැවති කිසිදු ප්රමුඛ පෙළ තරගයක තොරතුරු එහි සටහන් නොකිරීම නිසා ක්‍රීඩකයෝ ඉමහත් කළකිරීමට පත්ව සිටිති.
මෙම අමන තීරණය ගෙන ඇත්තේ ක්‍රිකට් ආයතනයේ දේශීය ක්‍රිකට් ප්‍රධානී චින්තක එදිරිමාන්න විසිනි.
ඒ සඳහා උපදෙස් ලබා දී ඇත්තේ එහි වෙළෙඳ ප්‍රවර්ධන අංශයයි. වෙනත් අප්‍රසිද්ධ වෙබ් අඩවියකට දේශීය ක්‍රිකට් තරග තොරතුරු විකුණා දැමීම මොවුන්ගේ අදහස වී තිබේ.
සුප්‍රසිද්ධ ඉන්දීය ESPN සමාගම යටතේ පවත්වාගෙන යන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ලොව පුරා අනෙකුත් සියලුම රටවල දේශීය හා අන්තර් ජාතික තරග පන්දුවෙන් පන්දුවට යාවත්කාලීන කරන අතර ශ්‍රී ලංකා දේශීය ප්රමුඛ පෙළ ක්‍රීඩකයන්ගේද දත්ත එසැණින් ඇතුළත් කෙරේ.
මේ හේතුවෙන් මෙරට ක්‍රීඩකයන් එංගලන්තය හා ඕස්ට්‍රේලියාව ඇතුළු වෙනත් රටවල ක්‍රීඩා සමාජ තරග සඳහා යාමේදී ඔවුන්ගේ සියලු දත්ත සියලු දෙනා බලා ගත්තේ ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය හරහාය.
මේ හේතුවෙන් දේශීය ක්‍රීඩකයන්ගේ දත්ත වලට තිතක් වැටීම ගැන ක්‍රිකට් ආයතනය වග කිව යුතුව ඇත.







