රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය.
අද ඔහු මේ බව පැවසුවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමිනි.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබු සරසවි සිසුන් තිදෙනෙක් රාගම රෝහලෙත් එක් සිසුවෙක් මීගමුව රෝහලෙත් ප්‍රතිකාර ලබමින් ඇති බවත් මීගමුව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින්නේ ප්‍රහාරයට සම්බන්ධ සැකකාර සිසුවෙක් බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් මෙසේද පැවසීය.
“රාගම සිද්ධියට පැමිණි පිරිසෙන් පුද්ගලයින් 6 දෙනෙකු මේ වනවිට හඳුනගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටර් රථයේ රියදුරාවත් අත්අඩංගුවට ගත්තා.”
අද සවස රාගම පොලිස් ස්ථානයට පැමිණ තිදෙනෙක් භාරවෙලා තිබෙනවා.
“තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන සැකකාර වෛද්‍ය සිසුවා හැර අනෙක් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරනවා.”
“සිද්ධිය සිදුවෙන අවස්ථාවේ ඒ ආසන්නයේ සිටි සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ 10කට ආසන්න ප්‍රමාණයක් සටහන් කරගෙන තිබෙනවා.”
” පහරදීම, තුවාල සිදුකිරීම, අයුතු ඇතුල්වීම, නීතිවිරෝධී ඒකරාශිවීමක සාමාජිකයින්වීම, රාජ්‍ය ආයතනයකට අයත් වාහනයක් අයුතු ලෙස පරිහරණය කිරීම යන වැරදි යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනවා.”
“සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.”
“රාගම රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සිසුන් තිදෙනාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගන්නවා. සිසුන් සතුව ඇති වීඩියෝ පොලීසිය භාරයට ගෙන පරීක්ෂණ කරනවා.”







