ජල විදුලිය නිශ්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය නිකුත් කළ හැක්කේ සීමිත කාලයක් සඳහා පමණක් බවත් මේ වනවිට ජලාශයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් සිඳී යෑම නිසා ජල කළමනාකරණය සම්බන්ධව දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බවත් වාර්තා වේ.
ඝණ මීටර මිලියන 723ක් සම්පූර්ණ ජල ධාරිතාවක් සහිත වික්ටෝරියා ජලාශයේ ඊයේ සවස් වනවිට පැවතියේ ඝණ මීටර මිලියන 419ක ධාරිතාවයකි.
විද්‍යාත්මක පදනම මත ජල විදුලිය සඳහා ජලය නිකුත් කළ හැක්කේ ජලාශයේ ජල ධාරිතාව ඝණ මීටර මිලියන 380ක් තෙක් පමණි.
මේ වනවිටත් ජල විදුලිය සඳහා දිනකට ජලය ඝණ මීටර මිලියන 08 බැගින් නිකුත් කරමින් ඇති බවත් ඒ අනුව සක්‍රීය ජලධාරිතා ගණනයේ දී වික්ටෝරියාවෙන් නිශ්පාදනය වන ජල විදුලිය උපරිම තත්ව යටතේ වුව ද මේ මාසය අවසන් වීමට ප්‍රථම මුළුමනින්ම නවතින බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ වසරේ දෙසැම්බර් මැද වනවිටත් උපරිම ධාරිතාවෙන් තිබූ ජලාශවල ජල මට්ටම සති හයක් තුළ අඩකටත් වඩා අඩුවීම ජල කළමනාකරණයේ මූලික නියාමනයන් නොසලකා හැර කටයුතු කිරීමේ බිහිසුණු ප්‍රතිඵළයක් බව ජලාශ කළමනාකරණ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මෑත ඉතිහාසය ගෙන බැලූ විට වර්ෂ 2019 දි ජලාශයේ ජලය මේ තරම් අඩු වී තිබුණේ අගොස්තු මාසයේ දී බවත්, අගෝස්තුව වනවිටත් ඝණමීටර මිලියන 395ක් ජලාශයේ පැවති බවත් එම ආරංචි මාර්ග කියයි.
2020 මෙපමණ ජල මට්ටම අඩු වී තිබුණේ අප්‍රේල් මස 10 දා වනවිටය. අප්‍රේල් 10 සිට 20 දක්වා දින දහයක් තුළ ගැටලුකාරී තත්වයක් නිර්මාණය වුවත් අප්‍රේල් 20 වැනිදායින් පසු වර්ෂාව ඇද හැලිනි.
මේ වසරේ ජනවාරි මස අග වනවිටම ඝණ මීටර මිලියන 430 දක්වා ජල ධාරිතාවය අඩු වී තිබිණි. ඊයේ සවස්වනවිට ධාරිතාව ඝණ මීටර මිලියල 419 කි.







