ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සිය පළමු අපේක්ෂාව යැයි වැඩබලන පොලිස්පතිවරයා මහනුවරදී පවසයි. සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපවත්වා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සිය පළමු ඉලක්කය යයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියයි.
ආසියාව සහ ලෝකයේ බොහෝ රටවල් නිරීක්ෂණය කරන විට ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වය තබා ගැනීම ඉතාමත්ම වැදගත් යැයි හදුනාගත හැකි බව ඒ තවදුරටත් පෙන්වා දෙයි.
නව ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අද (02) පෙරවරුවේ මහනුවරට පැමිණි වැඩබලන පොලිස්පතිවරයා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත්තේය. දියඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පිච්චමල් වට්ටියක් ලබාදී ඔහුව පිළිගන්නා ලදි.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වැඩබලන පොලිස්පතිවරයා මත්ද්‍රව්‍ය වලින් පාසල් දරුවන්ට පවා තර්ජනයක් වී ඇති අවස්ථාවක මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මැඩලීම තමන්ගේ එක් අරමුණක් යයිද ප්‍රකාශ කළේය. ඒ සඳහා සැලැස්මක් සහ නිවැරැදි වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි කී ඔහු එය නුදුරේදී ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
ආයුධ සන්නද්ධව සාමාන්‍ය පොදු ජනයා පීඩාවට පත් කරමින් සිදුකරන අපරාධ ක්‍රියාවන් මැඩලීමට පියවර ගන්නා බවද ඔහු කීවේය. කතාවට වඩා ක්‍රියාවට ප්‍රමුඛත්වය ලබා දීම ඉතාමත්ම වැදගත් යැයි කී වැඩ බලන පොලිස්පතිවරයා මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක් කරා කඩිනමින් යොමු වන බව ද කීවේය.
ශ්‍රී ලංකා පොලිසිය දක්ෂ නිලධාරීන්ගෙන් සමන්විත බවත් මෑතකදී සිදු වූ අපරාධ රැසක් විසඳීමට පොලිසියට හැකි වූ බවත් දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටතු සඳහන් කළේය.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මහනුවර කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත රත්නායක, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී අනුරුද්ධ බණ්ඩාරනායක ඇතුලු උසස් පොලිස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ







