ඉඳුනිල් කහටපිටිය –
ඩයනා ගමගේට , අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජයට සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බන්ඩාරට මාසයක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වූයේය. ඒ පසුගිය ඔක්තොම්බර් මස 20 වැනි දින ඩයනා ගමගේ කෙළිය පිස්සුව සම්බන්ධයෙන් කළ විභාගය අවසානයේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඉදිරිපත් කළ නිර්දේශයෙනි.
සිද්ධියට මුල් වූ ඩයනා ගමගේටත්, ඇයගේ උදහසට ලක්වන මන්ත්‍රීවරු දෙදෙනාටත් සමානව දඬුවම් ලබා දෙමින් ඉදිරිපත් කළ මේ යෝජනාවට විපක්ෂයෙන් තියුණු විරෝධතාවයක් මතු විය. අනතුරුව ඡන්දයක් කැඳවූයේය. විපක්ෂය ඡන්දය වර්ජනය කළේය. සුමන්තිරන් මන්ත්‍රීවරයා පමණක් රැඳී සිට තමන්ගේ විරෝධය පළ කළේය. යෝජනාවට පක්ෂව ආණ්ඩුව ඡන්දය දුන්නේය. ඒ අනුව පක්ෂව ඡන්දය 57ක් ලැබිනි. විපක්ෂව 1 ඡන්දයක් ලැබිණි . තිදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.
ඒ අනුව වැඩි ඡන්ද 56කින් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභා යෝජනාව සම්මත විය. දැන් ඩයනාටත් ඩයනා විසින් පටලවා ගැනීම නිසා සුජිත් සහ රෝහණටත් එකම හැන්දෙන් බෙදා ඇත. තුන්දෙනාටම මාසයක් පාර්ලිමේන්තුව තහනම්ය.
ඒ සිද්ධිය
ඊයේ සිද්ධිය පෙළ ගැසුණු හැටි
ඩයනා ගමගේ විසින් ඇතිකළ මෙම සිද්ධිය සම්බන්ධව කතානායකවරයා එදිනම කමිටුවක් පත් කළේය. ඒ කමිටු නිර්දේශ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙනස් කළේය. අතාර්කිකව නිර්දේශ වෙනස් කළේය. රට දුටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ විනය සම්බන්ධව කටයුතු කරන ඉහළම ස්ථානය වූ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඩයනා ගමගේ බේරා ගන්නට ගොස් හෙළිකොට්ටෙන් ඉන්න ට වූ ආකාරය ය.
මේ පෙළ ගැසෙන්නේ ඒ කතාවය.
ඩයනා ගමගේ රෙදි ගලවා ගන්නවා ලෝකයම දුටු සිද්ධියට අදාලව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශය එම කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඊයේ දිනයේය. එම නිර්දේශ සම්බන්ධව දැනුම්වත්ව සිටි විපක්ෂය එම අවස්ථාවේ දීම මේ සම්බන්ධව බරපතල විවේචනයක් මතුවිනි.
ඊට හේතුව වූයේ මේ සිද්ධිය සිදුවුන දිනයේ දීම ඒ පිළිබඳ සොයා ගැබීමට නියෝජ්‍ය කතා නායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කළ පසු එම කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශත් වරප්‍රසාද කමිටුව මගින් ඉදිරිපත් කර තිබුණු නිර්දේශත් බරපතල ලෙස පරස්පර විරොධී වීමය.
කතානායකවරයා විසින් ඉදිරිපත් කළ කමිටුවේ සාමාජික චමල් රාජපක්ෂ එම අවස්ථාවේ දී එම නිර්දේශවලට එකඟවී වරප්‍රසාද කමිටුවේ දී එහි සභාපතිවරයා ලෙස සිය තීන්දුව වෙනස් කිරීම සිදුකර තිබිණි.
ඔබතුමාගේ කණට කෙනෙක් ගැහුවොත් කණට ගහපු එකාටයි ඔබ තුමාටයි එකම දඬුවමක් දීම හරි ද? සුජිත් ඇසූ ප්රශ්නය
ඊයේ මේ පිළිබඳව සිය බලවත් අප්‍රසාදය පළ කළේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය ය. සුජිත් සංජය විනාඩි කීපයක් ඉල්ලාගෙන කථානායකවරයාට කීවේ මේ සිද්ධිය සම්බන්ධව මුලින් සිදුකළ කමිටු නිර්දේශය වෙනස් වී ඇති ආකාරය අපේක්ෂා බිඳවනසුළු බවය.
සුජිත් සංජය මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ කථානායකවරයා විසින් පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අනුව ඩයනා ගමගේට මාස 03ක කාලයක් පාර්ලිමේන්තුව අත්හිටුවූ බවය. ඔහු කළ ප්‍රකාශට අනුව ඔහුට පාර්ලිමේන්තුව අත්හිටුවා ඇත්තේ සති දෙකකි. ඒ සති දෙක අත්හිටුවා තිබී ඇත්තේ වීඩියෝ දර්ශන සමාජගත කිරම පිළිබඳවය.
සුජිත් සංජය මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර සිටියේ ඩයනා ගමගේ පාර්ලිමේන්තුව තුළ සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රකාශයක් කර තමන් සහ රොහණ බණ්ඩාර සම්බන්ධව සම්පූර්ණ වැරදි සිද්ධියක් සමාජ කර ඇති අවස්ථාවක අන්තිම මොහොතේ සුදුවූයේ කුමක් ද යන්න සම්බන්ධව සමාජය දැනුම්වත් කිරීමට එ් වීඩියෝ මුදා හැරීම සිදුකළ බවය.
“ කතා නායක තුමනි. ඔබතුමා ඔබතුමාගේ පාඩුවේ ගමනක් යනවා. මොකෙක් හරි ඇවිත් ඔබතුමාට කනට ගහනවා. ගුටි කාපු ඔබත්මාටයි කනට ගහපු එකාටයි දෙන්නේ එක දඬුව ම ද?” සුජිත් සංජය ඇසුවේය.
කතානායකවරයා පැවසුවේ දැන් ඒ සම්බන්ධව වචනයක්වත් කතා නොකරන ලෙසත් වරප්‍රසාද කමිටුවෙන් ඒ පිළිබඳව තීන්දුවක් ලැබී ඇති බවත්ය.
විරුද්ධ පක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් දැඩිව මේ තත්ත්වය විවේචනය කරමින් පැවසුවේ නඩු ඇසූ කණ්ඩායමේ කෙනෙක් ඇපෑලත් විමසා තීරණයක් ලබා දුන්නා වැනි වැඩක් සිදුවී ඇති ආකාර ට විරුද්ධ බවය. කතානායකවරයා දිගින් දිගටම පැවසුවේ ඒ ප්රශ්නය කතා නොකරන ලෙසත් පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ එකඟත්වයෙන් පත් කළ වරප්‍රසාද කමිටුවෙන් සිද්ධිය සම්බන්ධව තීරණයක් ලැබී ඇති නිසා එම තීරණය පිළිගත යුතු බවත්ය.
අද පාර්ලිමේන්තුවේ දි ඇදුනේ එහි දිගුවය.
සභාවේ න්‍යාය පත්‍රය අනුව සිය මූලික යෝජනාව ඉදිරිපත් කරමින් සභානායකවරයා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ඉදිරිපත් කරමින් ඔක්තොම්බර් මස 20 වැනි දින ඩයනා ගමගේ මන්ත්‍රීවරියත්,
අද මෙම යොජනාව සභානායක සුසිල් ප්‍රේමජන්ත විසින් ඩයනා ගමගේ මන්ත්රීවරියගේත්, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මන්ත්රීවරයාගෙත් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බන්ඩාර මන්ත්‍රීවරයාගේත් පාර්ලිමේන්තු කාලය මාසකයට තහනම් බව ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවේ දී යළිත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂය ලෙස මෙම යෝජනාවට තමන් විරුද්ධ බව දන්වා සිටියේය. අදහස් දැක්වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
රන්ජිත් මද්දුම බණ්ඩාර කළ හෙළිදරව්ව
රන්ජිත් මද්දුමබණ්ඩාර වරප්‍රසාද කමිටුවේ මේ තීන්දුව ගත් අවස්ථාවේ සිටි සාමාජිකයෙකි. වරප්‍රසාද කමිටුවේ දී සිදුවූ දේ ඔහු මුලින්ම පැහැදිලි කළේය.
“මා වරප්‍රසාද කමිටුවේ සාමාජිකයෙක්. මේ සිද්ධිය සම්බන්ධව කථානායකවරයාගේ නියෝගය මත නියෝජ්‍ය කතානායකරයාගේ සභාපතිත්තිවය යටතේ කමිටුවක් පත් කළා. ඒ කමිටුව මේ පිළිබඳව විභාග කරලා තීරණයක් දුන්නා. “
“නමුත් වරප්‍රසාද කමිටුවට ආවට පස්සේ මේ තීන්දුව වෙනස් කළා. අපි ඊට විරුද්ධව ඡන්දය දුන්නා. අසාධාරණයක් වෙලා තියනවා යම් කොටසකට. ඇයි ඔබතුමා මේ කමිටු පත් කරන්නේ. මේක ඔතුමාටත් කරන අපහාසයක්. ඔබතුමාගේ නිර්දේශවත් මේ කමිටු ක්‍රියාත්මක කරන්නේ නෑ.”
ගයන්ත කරුණාතිල කී කතාව.
ගයන්ත කරුණාතිලක ඩයනාගේ සිද්ධිය සම්බන්ධව සොයා බැලීම සඳහා කතානායකවරයා විසින් පත් කළ කමිටුවේ සාමාජිකයෙකි. ඔහු කතා කළේ එම කමිටුවේ සාමාජිකයෙක් වශයෙනි.
“මේ සිද්ධිය වුන අවස්ථාවේදී ඔබතුමා කමිටුවක් පත් කළා සිදුවූ දේ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන්න. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් චමල් රාජපක්ෂ මහත්මාත්, රමේෂ් පතිරණ මහත්මාත්, සීතා අරඹපල මහත්මියත්, ඉමිතියාස් බාකීර් මාකර් මහත්මාත්, තලතා අතුකොරල මහත්මියත් මමත් ඒ කමිටුවේ හිටියා.”
“අවස්ථා ගණනාවක දී අපි දුරබැහැර ඉඳන් ඒ වෙනුවෙන් ඇවිත් වීඩියෝ පට බලලා, සාක්ෂි කැඳවලා මේ අයගේත් අදහස් විමසලා අපි තීරණයක් ගත්තා.”
“ඒ තීරණයේ දි කමිටු සමාජිකයො හත් දෙනාම එක පුද්ගලයෙක් පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳ ඒකමතික තීරණයකට එළඹුනා. “
“ඊලඟ පුද්ගලයා සම්බන්ධව එක්කෙනෙක් එක මතයක් දැරුවා. දෙන්නෙක් තව මතයක් දැරුවා. බහුතරයක් වූ හතර දෙනෙක්ම එක මතයක හිටියා. ඊලඟ මන්ත්‍රීවරයා සම්බන්ධව කමිටුවේ දෙන්නෙක් එක මතයක හිටියා. බහුතරයක් වෙච්චි පස් දෙනෙක්ම එක මතයක හිටියා. “
මෙවන් කමිටු ලෝකයට පෙනෙන්නට පත් කර ඒ නිර්දේශවලට පයින් ගසන ඉතිසාහයක් දැන් පාර්ලිමේන්තුවේ ඇති බව පැවසූ ගයන්ත කරුණාතිලක අතිශය විනිවිද භාවයකින් යුතුව පාර්ලිමේන්තුවේ සියලුම ව්‍යවස්ථා සලකා බලා සිදුකළ අතිශයින්ම විධිමත් මෙවැනි කමිටු වාර්තාවක් ක්‍රියාත්මක කරන්නට අවස්ථාවක් නැතිනම් මෙවැනි නිරපාරද කමිටුවලට මින් මතුවනම් තමන්ව නම් නොකරන ලෙසය.
ඉම්තියාස් බකීර් මාකර් කළ පැහැදිලි කිරීම
ඉම්තියාස් බකිර් මාකර් මන්ත්‍රීවරයා කතානායකවරයා විසින් ඩයනාගේ විගඩම ගැන සොයා බලන්නට පත් කළ කමිටුවේ සාමාජිකයෙකි. කමිටුව තුළ සිදුවූයේ කුමක් දැයි ඔහු දීර්ඝ ලෙස විස්තර කළේ නම් ගම් සහිතවය.
“කතානායක තුමනි. ඔබතුමා පත් කළ කමිටුවේ මමත් සාමාජිකත්වය දැරුවා. ඔබතුමා තමයි මමත් ඒ කමිටුවට පත් කළේ. රටේ ජනතාව පාර්ලිමේන්තුව දිහා බලාගෙන ඉන්නවා අපි අපක්ෂපාතීව සාධාරණව වැඩ කරයි කියලා.
ඒත් මගේ තියන සරදම කතානායක තුමනි, අපි හිටපු විනය කමිටුවෙ සාමාජිකයෙක්වුන චමල් රාජපක්ෂ මහත්මයා අපේ තීන්දුවට එකඟ වෙලා, ඒ තීන්දුව වෙනස් කළ කමිටුවෙ සභාපතිවරයා ලෙස තීන්දුව වෙනස් කිරීම.
මට මේක හිතාගන්න බෑ මොකක් ද කියලා. අපි කමිටුවාර රැස්වීම හතරක් පැවැත්තුවා. පැමිණිලිකාරයින්ව කැඳෙව්වා. සාක්ෂිකාරයින්ව කැඳෙව්වා. වීඩියෝ දර්ශන බැලුවා.
මම දැන් මහලේකම්වරිය වෙනුවෙන් කමිටුවට සහභාගීවන නියෝජ්‍ය ලේකම් චමින්ද කුලරත්න මහත්මයාගෙන් අප ඔබතුමා විසින් පත් කළ කමිටු වාර්තාව ඉල්ලා ගත්තා
“මට විනාඩියක් දෙන්න ඒකෙන් කොටසක් උපුටා දක්වන්න. එකේ සඳහන් කරනවා. කාරක සභාව පහත දසඳහන් නිර්දේශ ඉදිරිපත් කරයි. ”
“ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය කරන ලදී.
- අදාල සිදුවීම සඳහා ආරම්භය සහ චේතනාන්විතව පෙළඹවීම ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන ලදී.
- අදාල සිද්ධියේ හැසීරීම – ගරු සරු නොමැතිව හැසිරීම, නින්දා කිරීම
- අදාල සිදුවීමේ දී කළ වචන භාවිතය – තර්ජනය කිරීම සහ සුජිත් සංජය පෙරේරා මහතාට පහරදීමට තැත් කීරීම සහ පහර දීම
සුජිත් සංජය පෙරේරා සම්බන්ධව ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ
- අදාල සිදුවීමේ හැසිරිම – අදාල සිදුවිම වළක්වා ගැනීමට කටයුතු කළ ආකාරය.
- චේතනාවෙන් තොරව තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් අවස්ථානුකූලව කටයුතු කිරීම.
- ඒ අනුව ශාරීරික පීඩනයක් ඇතිවන ලෙසින් තල්ලු කිරීම,
රෝහණ බණ්ඩාර සම්බන්ධව ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ
- අදාල සිදුවීමේ දී හැසිරීම – ගරු සරු නොමැතිව හැසිරිම, නින්දා කිරීම, වචන භාවිතය,
- වීඩියෝගත කිරීම සහ චේතනාන්විතව සමාජගත කිරීම,
උක්ත නිරීක්ෂණ අනුව කාරක සභාව සිය නිර්දේශ මෙසේ ඉදිරිපත් කරයි.
- ඩයනා ගමගේ මන්ත්‍රීවරිය වෙත මාස 03ක කාල සීමාවක් සඳහා පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීම කමිටුවේ ඒකමතික තීරණය විය.
- සුජිත් සංජය පෙරේරා මහතාට ඔහු විසින් දක්වන ප්‍රතික්‍රියා පිළිබඳව දැඩි ලෙස අවවාද කළ යුතු බවට බහුතර තීරණයෙන් එකඟ විය.
- රෝහණ බණ්ඩාර මහත්මාට අදාල වීඩියෝව සමාජගත කිරීම හේතුවෙන් ගරු ඩයනා ගමගේ මන්ත්‍රීවරියට සිදුවූ අපකිර්තිය සැලකිල්ලට ගෙන සති දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට තීරණය විය.
මන්ත්‍රීවරයා කීවේ මෙය පක්ෂ විපක්ෂ කාරණාවක් නොවන බවත් චේතාන්විතව වරදක් කළ කෙනෙක් හා එසේ නොකළ කෙනෙක් එක තැනට දමා දඬුවම් ලබා දීම නොකරන ලෙස මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලුවේය.
“මේ සිද්ධිය පමණක් හුදකලාව ගන්න පුලුවන්කමක් නෑ. මේ පාර්ලිමේන්තු ක්රියාදායම දිහාම බලන්න. දෙයියන්ගේ නාමයෙන් කතානායකතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපක්ෂපාතීව තීරණ ගන්නා එපා. “ මන්ත්‍රීවරයා අවසාන වශයෙන් කීවේය.
මේ තීන්දුව වෙනස් වෙන්න තිබුණා…. – නියෝජ්‍ය කතානායක කියයි.
වඩාත් මැදහත් තැනක් සිට කතා කළ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පැවසුවේත් මේ තීන්දුව වෙනස් විය යුතු බවය. තමන්ගේ සභාපතිත්වය දරන කමිටුව මේ නිර්දේශ ලබා දුන්නේ දැඩි අධ්‍යනයකින් පසුව බවය.
“මම පැහැදිලි කිරීමක් කරන්න ඕන. යම් විනය විරෝධි වැඩක් සිද්ධ වුනාම පත්කරන කමිටුවේ නිල වශයෙන් සභාපතිවරයා වෙන්නේ මම. ඒ නිසා තමයි කතානායක තුමනි, ඔබතුමා මාව ඒ කමිටුවට පත් කළේ. “
“අපි මේ කමිටුව රැස් වෙලා නීත්‍යානුකූලව කළ හැකි දේවල් සාකච්ඡා කළා. කමිටුවට කාන්තා නියෝජනයක් අවශ්‍ය නිසා දෙදෙනෙක් සහභාගී වුනා. ඔබතුමා අපෙන් බලාපොරොත්තු වුනේ යම් සාධාරණ නිශ්ඡයක් කර අපේ වාර්තාවක් ඔබතුමාට බාර දෙන්න. අපි ඒ වාර්තාව ආචාර ධර්ම සංග්‍රහය සහ බලතල සහ වරප්‍රසාද පාර්ලිමේන්තු පනත අනුව අවසන් කළා.”
“අපි මොනවා කළත් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව කෙනෙකුට දෙන්න පුලුවන් උපරිම දඬුවම පාර්ලිමේන්තු කාලය මාසයක් අත්හිටුවීමයි. එතනදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවට වගකියන්නේ චමල් රාජපක්ෂ මහත්මයාගේ නිර්දේශයෙන් යුතු කමිටුව. අපි කරන්නේ ඒකට උදව්වක් කිරීම. “
“මේ කමිටුව විසින් ලබා දුන් දඬුවම මීට වඩා යම් සංශෝධනයක් වුනා නම් හොඳයි කියලා මම අදත් විශ්වාස කරනවා.”
“වරදක් කළා නම් දඬුවම දෙන්නම ඕන. අපි ඉතාම පැහැදිලිව මේ කමිටු නිර්දේශ ඉදිරිපත් කරලා තියනවා. ඒ සම්බන්ධව ක්‍රියා කිරීම ඔබතුමාගේ වගකීමක්.”
කමිටු දෙකේම සිටි තලතා අතුකොරල ගේ අත් දැකීම
තලතා අතුකෝරල පාර්ලිමේන්තුව ඇමතුවේ වරප්‍රසාද කමිටුවේ සහ කතානායකවරයා විසින් පත් කළ කමිටුවේ යන කමිටු දෙකම නියෝජනය කළ මන්ත්‍රීවරියක ලෙසය. වරප්‍රසාද කමිටුව තුළ සිදුවූ සිද්ධිය ඇය මුලුමනින්ම හෙළිදරව් කළාය.
“ කතානායකවරයා විසින් පත් කළ කමිටුවේ දි මේ තුන්දෙනා අතින් වෙච්චි දේ සම්බන්ධයෙන් අප වෙන් වෙන් වශයෙන් නිර්දේශ ලබා දුන්නා.”
ඒත් වරප්‍රසාද කමිටුවට ආවට පස්සේ වෙනස් වුනා.
අපිට මේකේ පුද්ගලික ප්‍රශ්නක් නෑ. විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ කියලා සලකාලා බෙදලා ගත්ත තීරණයක් නෙමෙයි මේක. මම ඇවිත් අවුරුදු 20ක්. මට කවදාවත් පාර්ලිමේන්තුව තුළ හෝ පිටත වැරදි සහගත හැසිරීම් සම්බන්ධව චෝදනාවක් නෑ. කතානායකතුමා විසින් පත් කළ මේ කමිටුවෙ හිටියේ පාර්ලිමේන්තුව තුළ පමණක් නොවෙයි, එළියෙදිවත් හැසිරීම සම්බන්ධව කිසිම චෝදනාවක් නැති අය. මම එනකොටත් මෙතන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරියන් හිටියා. අපි ඔවුන්ව දැක්කා. ඔවුන්ගේ හැසිරීම දැක්කා. ඒ අනුව තමයි අපි පෙළගැහුනේ. “
ඞමේක අමුතුම තත්ත්වයක් තියෙන්නේ මේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ. කාන්තාවක්, හැටියට වෙන්න පුලුවන්, ගරු මන්ත්‍රීවරියක් හැටියට වෙන්න පුලුවන්, දැනට අවුරුදු 30ක් පමණ පාර්ලිමේන්තුවේ ඉන්න පවිත්‍රා වන්නිආරච්චි මැතිනිට මෙහෙම සිද්ධියක් වෙලා තියනව ද,?. කවදාවත් ඇය මේ වගේ සිද්ධියකට මුහුණ දීලා නෑ. “
“මේ සම්බන්ධයෙන් අපි කථානායකවරයා විසින් පත් කළ කමිටුවෙන් දුන් තීරණය වෙනස් කළේ වරප්‍රසාද කමිටුවෙන්.
එතන පොඩි ඡන්දයක් වගේ ගත්තා. වරප්‍රසාද කමිටුවේ සාමාජිකයින් හැටියට මමත් රන්ජිත් මද්දුමබණ්ඩාර මැතිතුමත්, කබීර් හෂීම් මැතිතුමත් එක තීරණයක ඉද්දි අනෙක් තිරණය ගරු චමල් රාජපක්ෂ මැතිතුමත් , ජයන්ත කැටගොඩ මන්ත්රීතුමත්, තාරක බාලසූරිය මැතිතුමත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්රීතුමත්, හිටියා.
එතකොට හතරයි තුනයි ලෙස බෙදිලා තමයි මෙම තීරණය ගත්තේ.
චමල්ගේ අමුතු කතාව
මේ අවස්ථාවේ දී නැගී සිටි චමල් රාජපක්ෂ කීවේ අමුතු කතාවකි.
“ මට පැහැදිලි කිරීමක් කරන්න ඕන. ඔව්… මම කමිටු දෙකේම හිටියා. මම කතානායක තුමා පත්කළ කමිටුවට මුල් වතාවේ විතරයි සම්බන්ධ වුනේ. ඊට පස්සේ සම්බන්ධ වුනේ නෑ. නමුත් එතුමාලගේ තින්දුව කියවලා බලලා මම ඒකට අත්සන් කළා. ඒක හරි.”
“වරප්‍රසාද කමිටුවට මේක ආවට පස්සේ මම කිව්වේ මම කතානායකවරයාගේ කමිටුවෙත් හිටියා. මේකට සහභාගී වීම හරිද කියලා අහලා තමයි මම එතන ඉඳගත්තේ. ගරු කතානායකතුමනි… මහේස්ත්‍රාත් උසාවියෙ දෙන තීන්දුව ඊට ඉහළ උසාවියකින් වෙනස් කරන්න බැරි ද?. ඒ වගේ වැඩක් නේ මේක.”
“නමුත් ඔබතුමිය වැරදි ප්‍රකාශයක් කළා. මම ඡන්දය දුන්නා කියලා. මම ඡන්දය දුන්නෙ නෑ. මම අපක්ෂපාතීව නිශ්ශබ්දව හිටියා. ඒ නිසා ඉල්ලා අස්කරගන්න ඒක.”
මේ අවස්ථාවේ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය මුල් ස්ථාවරයේම සිටියානම් ඩයනාට ලැබුණු තීන්දුව මීට වෙනස් බව දැන් හෙළි වී ඉවරය. තලතා අතුකෝරල කිව්වේ තමන් කළ ප්‍රකාශය ඉල්ලා අස් කරනොගන්නා බවත්, චමල් රාජපක්ෂ නිශ්ශබ්දව සිටි නිසා වරප්‍රසාද කමිටුව විසින් මේ අසාධාරණ තීන්දුව ලබුණු බවත්ය.
“මේක උනේ කොහෙන්ද කියලත් හොයලා බලන්න.”
රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පැවසුවේ වරප්‍රසාද කමිටුව තුළ තමන් දන්නා ඉතිහාසයේ නම් මෙවැනි බෙදුණු තීන්දුවක් ලැබී නැති බවය. ඉතාම අස්වාභාවික කටයුත්තක් ලෙස ඔහු ඒ අවස්ථාව දැක්වූයේය.
අවසානයේ දී ආණ්ඩු පක්ෂය බෙදීමක් ඉල්ලුවේය. කතානායකවරයා ඡන්දයක් ප්‍රකාශ කළේය. විපක්ෂය නැගිට පාර්ලිමේන්තුවෙන් පිටතට ගියේය. සුමන්තිරන් මන්ත්‍රීවරයා රැඳී සිට යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. පක්ෂව ඡන්ද 57ක් ලැබිනි. යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත විය.
අපි ඉන්නේ මෙවැනි තුට්ටු දෙකේ පාර්ලිමේන්තුවකය. ඩයනා ගමගේ වැනි අලජ්ජී ගැහැණියකගේ හැසිරීම ලෝකය ඉදිරියේ නිරුවත්ව පෙනෙද්දී දේශපාලන බැඳීම් මත පාර්ලිමේන්තුව තුළවත් ඇයට නිසි දණ්ඩනය නොලැබෙන රටක අප නීතිය සම්බන්ධව ඒ තරම් කලබල විය යුතු නැති බව පෙනේනේය.
මොකද රටේ නීති හදන්නේත් මුන් බැවිනි.