පසුගිය දෙමසක කාලයේ දී කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලා භූමියෙන් රුපියල් කෝටි 12 ක පමණ වටිනාකමින් යුත් යකඩ සොරාගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ජගත් ධර්මප්‍රිය හෙළි කරයි.
![](http://lankasara.com/wp-content/uploads/2023/08/WhatsApp-Image-2023-08-01-at-13.09.30.jpg)
ත්‍රස්තවාදී කලබල හේතුවෙන් වර්ෂ 1990 – 91 කාලයේ සිට මේ දක්වා කිසිදු නිශ්පාදනයක් සිදු නොකර වසර 30 ක පමණ කාලයක් තිස්සේ වසා දමා තිබෙන කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට නිසි ආරක්ෂාවක් නොමැති වීම නිසා සිදුවන මෙ යකඩ හොරකම සම්බන්ධව පොලිස් පැමිණිලි ගණනාවක් සිදු කර ඇතත් ප්‍රතිඵල රහිත බව සභාපතිවරයා පවසයි.
සභාපතිවරයා පවසන්නේ මෙම සිමෙන්ති කර්මාන්තශාලාව ආරක්ෂාව යුද හමුදාව යටතේ පැවති වකවානුවේ භූමියේ දේපල ආරක්ෂා වූ නමුත් යුද හමුදා රාජකාරි උතුරු පළාතේ සීමා වීමත් සමග මෙම සමස්ථ භූමියම ආරක්ෂා කිරීමට පිරිස් බලය නොමැති වීමෙන් මෙම අනාරක්ෂිත තත්ත්වය ඇති වූ බවය.
කර්මාන්ත ශාලවේ බොහෝ ගොඩනැගිලි යකඩින් නිර්මාණය කර ඇත. ඊට අමතරව තවත් රුපියල් කෝටි ගණනක යකඩ කර්මාන්ත ශාලා භූමියේ තිබේ.
![](http://lankasara.com/wp-content/uploads/2023/08/WhatsApp-Image-2023-08-01-at-13.09.32.jpg)
යකඩ සොරකම වලක්වා ගැනීම සඳහා තාවකාලිකව ආරක්ෂාවට පිරිසක් යොදවා ඇති බවත් ප්‍රදේශවාසීන් හා ඔවුන් අතර ඇතැම් අවස්ථාවල වචන හුවමාරු සිදුවන බවත් ඔහු පැවසුවේය.
සංස්ථාව සතු යකඩ වෙන්දේසි කිරීමට හෝ ටෙන්ඩර් මාර්ගයෙන් ඉවත් කිරීම අරමුණු කර ගනිමින් 2019 වර්ෂයේ දී අමාත්‍යාංශ තුනක ලේකම්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ටෙන්ඩර් මණ්ඩලයක් ස්ථාපිත කෙරිනි.
එහෙත් එම ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතු යටගොස් ඇති බැවින් වඩාත් සාධාරණ ක්‍රමවේදයකින් මෙම යකඩ තොගය ඉවත් කිරීමේ වගකීම බලධාරීන්ට ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.