වරාය වෘත්තීය සමිති අද මධ්‍යහ්න 12 සිට අඛණ්ඩ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම්, නිරෝෂන් ගොරකානගේ නිවේදනය කළේය.
අද දහවල් 12 පැයට කොළඹ වරායේ අංක 03 ප්‍රධාන පිවිසුම් දොරටුව අසලට වරාය සේවකයින් රැස්වීමෙන් අනතුරුව ගනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගය ප්‍රකාශයට පත් කරන බව ලේකම්වරයා කීවේය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සියයට 49ක කොටස් ප්‍රමාණයක් ඉන්දියානු අදානි සමාගමට ලබා දීමට ගෙන ඇති තීරණය වෙනස් නොකිරීමේ අනම්‍ය පිළිවෙතත්, අනතුරුව වරාය අධිකාරිය සතු සියයට 51ක කොටස් ප්‍රමාණය කොටස් වෙළෙඳපලට මුදා හැරීමට ගෙන ඇති තීරණයටත් විරුද්ධව මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය දියත් කළ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ලේකම්වරයා කීවේ තමන්ට ලැබෙන තොරතුරු අනුව අදානි සමග කරනු ලබනා ගනුදෙනුවෙන් පසු ඉතිරි කොටස කොටස් වෙළඳපලට මුදා හරින විට ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඉතිරි වෙන්නේ කොටස්වලින් සියයට 15ක් පමණක් බවය.
“කෙසේ වෙතත් එළඹෙන සඳුදා රැස්වන කැබිනට් රැස්වීමේ දී මේ ගැන අවසාන තීරණය ගන්න නියමිත බව වාර්තා වෙනවා. ඒ නිසයි අපි අද දහවල් 12 පැයේ සිට අඛණ්ඩ දැඩි වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යන්නේ…“
“ මේ රට මේ තත්වය තේරුම් ගත යුතුයි. මෙය වරාය සේවකයන්ගේ සටනක් නොවෙයි. අපේ අනාගත පරම්පාරව වෙනුවෙන් රැක ගත යුතු ජාතියේ සම්පත් විනාශයට එරෙහිව දියත් කරන ඉතා තීරණාත්මක ජාතික සටනක්. අපට ලොකු විශ්වාසයක් තියනවා අද අරඹන වෘත්තී අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කරන්න හැකි වෙනවා කියලා. ඒ සඳහා වරායෙ සේවකයො 9990ක් මේ සටනට එකතු වෙනවා.“
වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය කුමක් දැයි අද දහවල් 12ට ප්‍රකාශයට පත් කරන බවත් එය අකුරට වැඩ කිරීම හෝ වෙනත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වීමට හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
“ අපි ආණ්ඩුවට නිශ්චිතව මේ බව කියනවා. මේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය වාරායට හොඳ දෙයක් නෙමෙයි. වරාය ආර්ථිකය කොවිඩ් වසංගතය නිසා තිබෙන්නේ දැඩි පීඩනයක. මේ පියවර වරායට විශාල හානියක්. ඒ බව අපි දන්නවා. මේ තත්වයට එන්න වැළැක්වීමට අපට ලොකු අවශ්‍යතාවයක් තිබුණා. අපි ජනාධිපතිතුමා, ඇමතිතුමා, සභාපතිතුමා හමුවුණා. මේ අපරාධය කරන්න එපා කියලා පහුගිය සති කීපය තුළම කිව්වෙ අපේ ඵලදායී යෝජනා ඔවුන්ට ඉදිරිපත් කරමින්. ඔවුන් ඔවුන්ගෙ පැත්තේ තියන අදානිට සියයට 49 කොටස් විකිණීමේ අරමුණ ඉවත් කරන්න සූදානම් නෑ,
ඔවුන්ගෙ දැඩි හිතුවක්කාර තීරණය නිසයි මේ සටනට අපට යන්න වෙලා තියෙන්නේ…
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම්, නිරෝෂන් ගොරකානගේ කීවේය.









