මෙම වසර අවසානය වන විට පාසැල් ගුරුවරු දසදහසක් පමණ විශ්‍රාම යාමට නියමිත වන අතර පවතින පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරී ගුරුවරුන් 22000ක් අලුතෙන් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය අවධානය යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග ‘ලංකාසර’ ට අනාවරණය කළේය.
රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ නව වයස් සීමාවන් අනුව ගුරුවරුන් දස දහසක් පමණ විශ්‍රාම යෑමට නියමිත අතර ඒ සමඟ නිර්මාණය වන පුරප්පාඩු ප්‍රමාණය 22000ක් පමණ වනු ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.
මේ අනුව විභාගයක් හරහා සුදුසුකම් ලබන උපාධිධාරීන් 22000ක් බඳවා ගැනීම පිළිබඳව යෝජනා වී ඇතැයි ද ඔවුන් ලබන මාසයේ පවත්වන විභාගයක් හරහා බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී විශේෂත්වයක් වන්නේ දැනට රාජ්‍ය සේවය තුළ කටයුතු කරන සංවර්ධන සහකාරකරුවන් හා වෙනත් තනතුරු දරන උපාධිධාරීන්ට ද මෙම ක්‍රමය යටතේ ගුරු පවත්වීම් ලැබීමයි.
අධ්‍යාපන අමාත්‍යංශය මඟින් සුදුසුකම් ලබන උපාධිධාරීන් සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා පළාත් පදනම යටතේ ඔවුන් බඳවා ගැනීමට අදාළ රාජ්‍ය සේවා කොමිෂන් සභා අනුමැතිය ද මේ වන විට ලැබී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.







