-
කැකිරාවෙන් පලා ඇවිත් සැකකරු කෙලින්ම කොටුවට… කුඩු සික් එක ගහලා කුඩු හොයාගෙන කොටුව පුරා ඇවිදලා…
-
හොයාගන්න බැරි තැන කොට්ටාවට ඇවිත් තියෙන්නේ දකුණට ගිහින් තමන් දන්න එකෙකුගෙන් කුඩු ටිකක් හොයා ගන්න…
-
එතැනදි ඩුබායිවලින් දුන්න උපදෙස් දකුණු පලාට නොගිහින් මුලින්ම දුරකථනය මාරු කරගන්න මහරගම ෆෝන් කඩේකට ඇවිත්… වැඩි ඇරි යන එස්අයිඑස් නිලධාරියෙක් සැකකරු දකින්නේ ඒ අතර…
-
ඔහුගෙන් මිදී දුවනකොට මිනිස්සු සැකකරුව අල්ලගෙන බඩ කට පුරා පහර දීලා…
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කළ සිද්ධියට අදාලව මේ වනවිට 07 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ. ඒ 07 දෙනා අතර සැකකාර ඝාතකයා සිටින්නේය. පැදිකරු සිටින්නේය. ඝාතන තැතට සහාය දුන් කුලීකරුවන් සිටින්නේය. ඝාතකයා ගේ බිරියත් ඒ අතරය.
මේ වනවිට සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට කැකිරාවේ දියත් කළ මෙහෙයුම ගැනත්, ඒ අතරතුර සැකකරු පොලිසියෙන් මිදී පලා යන ආකාරය ගැනත් හවස් වනවිට මහරගමින් මතුවන ඔහු අවසානයේ පොලිස් අත් අඩංගුවට පත්වන ආකාරය ගැනත් දැන් රටම දන්නේය.
මේ වනවිට පැහැදිලි නැති කෑල්ලක් ඇත. ඒ සැකකරුවා කැකිරාවට පැමිණි අන්දමත් ඔහු කැකිරාවේදී පොලිස් අත් අඩංගුවෙන් මිදී පලා ගිය පසු මහරගමින් හමුවන තෙක් සිදුවන කතාවත්ය. ඒ සිද්ධිය පෙළ ගැස්සෙන්නේ මෙසේය.
වෙඩි තබා පලා ගිය ගමන
සභාපතිවරයාට වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරු සහ පැදිකරු යතුරුපැදි දෙකකින් මාතර සිට ඌව පළාතට පලා යන්නේය. ඔවුන් දෙදෙනා මාතර සිට කැකිරාව දක්වා පලාගොස් ඇත්තේ කතරගම, තණමල්විල, වැල්ලවාය, රිදීමාලියද්ද , මහියංගණය ඔස්සේය. මේ අතර ඝාතන සැකකරුගේ බිරියත් සැකකරු සමග එකතු වන්නේය.
ඒ යන අතරතුර ස්ථාන කිහිපයකම ඔවුන් නවාතැන් ගන්නේය. වැලිගම සභාපතිවරයාට වෙඩි තැබීමෙන් පසු කැකිරාව දක්වා කිලෝමීටර් 500ක පමණ දුරක් වෙඩික්කරු යතුරුපැදියෙන් ගමන් කර ඇති බව මේ වනවිට විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
පැදිකරු යතුරුපැදිය ඌව පළාතේ යම් ස්ථානයක සිය යතුරුපැදිය සඟවන්නේය. ඉන් පසු ඔහු ද වෙඩික්කරුගේ බිරිය ද වෙඩික්කරු ද කැකිරාව බලා ගමන් කරන ආකාරය දැන් හෙළි වී ඇත්තේය. ඒ අනුව එම යතුරු පැදියේ වෙඩික්කරුත්, පැදිකරුත්, වෙඩික්කරුගේ බිරියත් ගමන් කර ඇති බව සඳහන්ය. ට්‍රිබල් දා යන රටම කතා කරන ඝාතකයා පොලිසිය මගහැර තිබුණු ආකාරයත අපූරුය.
ට්‍රිබල් දා පැමිණ ඇත්තේ එසේ මෙසේ දුරක් නොවේ. මේ තිදෙනාම ඌව සිට කැකිරාවට යතුරුපැදියෙන් පොලිස් ආරක්ෂාව මඟහැර ගමන් කළේ කෙසේ දැයි සොයන්නට දැන් සීසීටීවී ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කැකිරාවෙන් පලා යෑම
සැකකරුවන් සම්බන්ධව දිගින් දිගටම කෙරෙන දුරකථන වෝහාරික විමර්ශනවලට අනුව හෙළිවන තොරතුරු වඩාත් තහවුරු කරගෙන කැකිරාව නිවාස 50 ප්‍රදේශයේ දී සිදුවන මෙහෙයුම අතර පලා යන හක්මන පරණ ලියනගේ නුවන් තාරක නැමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පොලිසිය හඳුනාගෙන තිබිණි.
අතට අසුවූ සැකකාර ඝාතකයා පලා යෑම පොලිසියටත් හොඳ තත්ත්වයක් ඇති කළේ නැත. අනෙක පලා ගිය පුද්ගලයා නිසා පොලිස් නිලධාරියෙක් ද තුවාල ලබා රෝහල් ගත කළේය. මේ හේතුවෙන්ම පොලිසිය විසින් අදාල පුද්ගලයාගේ තොරතුරු ජනමාධ්‍ය වෙත මුදා හරියේය.
කැකිරාවෙන් පලා ගිය සැකකරු ඉන් පසුව මතුවන්නේ කොළඹ කොටුවෙනි. අපට වැටහෙන ලෙසනම් මේ සැකකාර ඝාතකයා මෙලෝ හසරක් නැති පට්ට ගොබ්බයෙකි. ඒ ගොබ්බකම හේතුවෙන්ම මේ පුද්ගලයා හැසිරෙන ආකාරය සම්බන්ධව විශ්ලේෂනය කරගැනීමට විමර්ශකයන්ට හැකි වී තිබිණි.
එමෙන්ම මේ සැකකරු ඉතාම ධරුණු ලෙස කුඩුවලට ඇබ්බැහි වු පුද්ගලයෙකි. කොළඹ කොටුවෙන් බැසගත් මේ තැනැත්තා දැන් සියල්ල අත්හැර කුඩු හොයන්නේය. සොයාගත නොහැකි වූ තැන කොට්ටාවට එන්නේය. ඒ දකුණේ තමන්ට හුරු පුරුදු තැනකට ගොස් හෝ කුඩු අඩියක් ගහන්නටය.
මේ කාලය පුරාමත් ඩුබායි හි සිටින පාතාලය විසින් ඔහුව මෙහෙයවන ආකාරය පෙනෙන්නේය. කෙසේ හෝ අධිවේගී මාර්ගයේ මාතර පැත්තට යන වැඩේ අත්හරින සැකකරු ඉන් පසු යන්නේ මහරගමටය.
තමන්ගේ දුරකථනය මාරු කරගන්නට මහරගම දුරකථන අලෙවිසලකට සැකකරු යන්නේ ඉන් පසුවය. මේ ගනුදෙනුව කතා කර අවසානයේ දී දුරකථන අලෙවි සලෙන් පිටතට එන සැකකරුව දකින්නේ රාජකාරි නිමා කර නිවසට යන රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකි. දිනය පුරා මේ සැකකරුවාගේ තොරතුරු සමග ගැටෙමින් සිටි බුද්ධි නිලධාරියා දුටු මනතින් ඔහුව හඳුනා ගන්නේය.
බුද්ධි නිලධාරියා ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කරද්දී සැකකරු පලා යන්නේය. පලා යන සැකකරු පසුපස නිලධාරියා පන්නන්නේය. මේ සිද්ධිය බලා සිටි වටේ පිටේ මිනිසුන් සිතන්නේ මේ දුරකථන අලෙවිසලෙන් දුරකථනයක් සොරකම් කර පලා යන පුද්ගලයෙක් කියාය. මිනිස්සු සැකකරු අල්ලා ගන්නවා පමණක් නොව, මතක හිටින ගුටි පූජාවකුත් කරන්නේය.
මේ අවස්ථාව වනවිටත් මහරගම ප්‍රදේශයේ සැකකරු සැරිසරන බව දන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉන්නේ පුද්ගලයා සොයමිනි. බුද්ධි නිලධාරියා විසින් කළ දැනුම්වත් කිරීමත් සමග ක්ෂණිකව පොලිසිය එම ස්ථානයට පැමිණ සැකකරු අත් අඩංගුවට ගන්නේය.
වටේ පිටේ සිටි පිරිස් සිද්ධිය වීඩියෝගත කර තිබිනි. දැන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ එම දර්ශනයන්ය.
සැකකාර ඝාතකයා ගැන හෙළිවන තොරතුරු
මෙම වෙඩික්කරු තවත් වෙඩි තැබීම් 6කට පමණ සම්බන්ධ බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවද පොලිස්පතිවරයා කීවේය.
අත් අඩංගුවට පත් සැකකරු පවසන්නේ තමන්ට අදාල කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ ඩුබායි ලොක්කා කියාය. මේ ඩුබායි ලොක්කා යනු දැනට ඩුබායි රැඳී සිටින රජිත නැමැත්තෙක්ය. ඔහු දෙන්නම් කාසිවලට වැඩ කරන පාතාලයෙක් නොවේ ඝාතන කොන්ත්‍රාත්තුව ලක්ෂ 15කි. ඝාතකයා එවන්නේ ලක්ෂ 15 ඔහුට ලබා දීමෙන් පසුය. මේ ලක්ෂ 15න් ලක්ෂ 12ක් සැකකාර ඝාතකයාගේ බිරිය ලඟ තිබී කැකිරාවේ දී පොලිසිය සොයා ගන්නේය.
රජිත නමැත්තා මිදිගම රුවන් සහ මිදිගම චූටි නමැති අයවළුන් සමඟ සම්බන්ධකම් පවත්වන්නෙක් බවට තොරතුරු හෙළි වි ඇත. ඔවුන් දෙදෙනාම හරක් කටාගේ ප්‍රධාන ගෝලයන්ය. මිදිගම රුවන් දැන් ඉන්නේ බූස්ස බන්ධනාගාරයේ ය. මිදිගම චූටි පසුගිය කාලයේ ඕමාන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි.
ඩුබායි හී රැඳී සිටින රජිත නමැත්තා වෙඩික්කරුව සම්පූර්ණයෙන් මෙහෙයවා තිබෙන බවත් ඔහුට පලා යන මාර්ග පවා සඳහන් කර ඇති බවත් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
වෙඩික්කරු දේශීය වශයෙන් නිෂ්පාදන කළ ගිනි අවියකින් ඉලක්කයට වෙඩි තැබීමට තමා විසින්ම පුරුදු පුහුණු වූ අයෙකු බවත් ඔහු පහ ශ්‍රේණිය තෙක් අධ්‍යාපනය ලද අයකු බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇතැයි විමර්ශන තොරතුරු උපුටා දක්වමින් “දිනමිණ” වාර්තා කර තිබේ.







