හෙට දිනයේදී (06) පැවැත්වීමට නියමිත හර්තාල් උද්ඝෝෂණයේදී රජයේ රෝහල්වල සාමාන්‍ය පරිදි වැඩ කරන අතර පෞද්ගලික චැනල් සේවයේ හෝ පෞද්ගලික රෝහල්වලට ඇතුළු වන අලුත් රෝගීන් පරීක්ෂා නොකිරීමට ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර ඇත. එම වෛද්‍යවරුන් රජයේ රෝහල්වල සියලු හදිසි අවස්ථාවලට හෙට දිනයේ සම්බන්ධ වෙන බවත් සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විහෙෂඥ වෛද්‍යවරුන් දිවා ආහාර විවේකයේදී අනෙකුත් සෞඛ්‍ය සේවක සේවිකාවන් සමඟ රෝහලේදී උද්ඝෝෂණයට සම්බන්ධ වීමටද තීරණය කර ඇති අතර පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල සේවයෙන් එදිනට වැළකුණද නමුත් ඕනෑම හදිසි අවස්ථාවකට සහ පෞද්ගලික රෝහල්වල නේවාසිකව සිටින රෝගීන් පරීක්ෂා කිරීමට පැමිණෙන බවත් එහි සඳහන්ය.
පෞද්ගලික අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් හා සාකච්ඡා කොට මෙම තීරණ ලබා ගත් බවත් විශ්වවිද්‍යාල විශේෂඥ වෛද්‍යවරුන් මෙම තීරණවලට සහයෝගය ලබා දේ යැයි බලාපොරොත්තු වෙන බවත් එම නිවේදනයේ සඳහන්ය.
මේ තත්ත්වය තුළ මැයි හයවැනිදා (හෙට) දින වෛද්‍ය හමුවීම් යොදා නොගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.







