දිනසේන රතුගමගේ –
යාපනයේ වඩුක්කෝඩෙයි ප්රදේශයේදී කඩුවකින් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙකු වඩුක්කෝඩෙයි පොලීසිය විසින් ඊයේ (12) දා අත් අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ ක්රියාත්මක කඩු කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලක් මත වෙනත් කඩු කල්ලියක සාමාජිකයින් විසින් මෙම තරුණයා කපා කොටා ඝාතනය කොට තිබුණි.
මේ සිද්ධියේදී මියගොස් තිබුණේ යාපනය වඩුක්කෝඩෙයි පදිංචි තවචෙල්වම් පවිතරන් නැමති 23 හැවිරිදි අයෙකි.
ඔහු මීට පෙර යාපනයේ වෙනත් කඩු කල්ලියක සාමාජිකයෙකුව කපා කොටා තුවාල සිදු කොට තිබූ අතර ඊට පළි ගැනීමක් වශයෙන් මොහුව කපා කොටා ඝාතනය කරන්නට ඇති බව වඩුක්කෝඩෙයි පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරම්භ කළ පොලීසිය යාපනයේ හා කිළිනොච්චියේ ස්ථාන හතරක සැඟව සිටි සැකකරුවන් හතර දෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්රශ්න කරගෙන යයි.
සැකකරුවන් මෙම අපරාධය සදහා පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදි දෙකක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර තරුණයා කපා කොටා ඝාතනය කළ කඩුව මෙතෙක් හමු වී නොමැත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අරාලි ප්රදේශයේ පදිංචි 37, 32, 25 සහ 22 යන වයස්වල හතර දෙනෙකි.







