දිනසේන රතුගමගේ –
අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අතර මේ වන විට පවුල් 643 කට අයත් පුද්ගලයින් 2456 ක් විපතට පත්ව තිබේ.
දින කීපයක් තිස්සේ පැවති දැඩි වර්ෂාව හේතුවෙන් යාපනයේ ඓතිහාසික නල්ලූර් කෝවිලද ජලයෙන් යට වී ඇති අතර 21 දා සවස පූජාව පවත්වා ඇත්තේද ඉතා චාම් ලෙස දැඩි අසීරුවෙනි.
වර්ෂා ජලය ගලා ඒම නිසා නිවෙස් වල ජීවත් වීමට නොහැකි ජනතාව වෙනත් ආරක්ෂිත ස්ථාන කරා ගොස් අති අතර ගස් ක ඩා වැටීම හා අධික සුළග නිසාද යාපනයේ නිවාස 4 කට පූර්ණ හානි සිදුව ඇත.
අර්ධ වශයෙන් නිවාස හතකට හානි සිදුව තිබේ.
යාපනයේ ප්‍රාදේශීය ලේකම්වරු හා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විපතට පත් ජනතාවට සහන සැලසීම පිණිස ඉදිරිපත් වී ඇතත් යාපනයේ බොහෝ ප්‍රදේශ වලට එම නිලධාරීන්ට යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත්තේ අධික වර්ෂාව හේතුවෙන් මාර්ග ගණනාවක්ම ජලයෙන් යටවීම නිසාය.
වර්ෂාව නිසා විපතට පත් සියලු දෙනාට වහාම කඩිනමින් ආධාර උපකාර සපයා දෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදානායගම් විශේෂ සාකච්ඡාවක් කැදවා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
යාපනයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව මේ වනතුරුත් පහව ගොස් නොමැති අතර අයහපත් කාලගුණික තත්ත්වයක් හදිසියේම වර්ධනය වි ඇති නිසා උතුරේ ධීවරයින්ට මුහුදු යාමද තහනම් කොට ඇත.







