යාපනය, කයිට්ස් මුහුදේ දී ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය බලවත් විරෝධය පළකර සිටියි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නව දිල්ලියේ සිටින වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා කැඳවා සිය අප්‍රසාදය පළකරනු ලැබූ බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කර ඇත.
ඩෙල්ෆ් දූපත ආසන්නයේදී ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියක් අද අලුයම වාර්තා වු බවත් එහිදී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවත් තවත් ධීවරයින් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
”ජීවනෝපාය පිළිබඳ අවධානය යොමු කරමින් ධීවරයින්ට අදාළ ගැටළු මානුෂීය ලෙස සැලකීමේ අවශ්‍යතාවය ඉන්දීය රජය සැමවිටම අවධාරණය කර ඇති අතර, කුමන තත්ත්වයක් යටතේ වුවද බලය යෙදවීම පිළිගත නොහැකියි. මේ සම්බන්ධයෙන් ආණ්ඩු දෙක අතර පවතින අවබෝධය දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතුයි.” යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල මාධ්‍ය ප්‍රකාශක රන්ධිර් ජයිස්වාල් විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ. එම නිවේදනය පහත දැක්වේ.
මේ ලිපියත් කියවන්න….







