වෙළෙඳ පොළේ පවතින ආනයනික සහල් වල පිළිකාකාරක අඩංගු බවට මාධ්‍ය මගින් කර තිබූ වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය බව පවසන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය වර්ෂ 2017 නිකුත් කළ පරීක්ෂණ වාර්තාවක තොරතුරුත් විකෘති කරමින් එම ප්‍රවෘත්තිය පල කර ඇති ආකාරය ප්‍රකාශ කළේය.
මෙම වර්ෂය තුළදී එවැනි පරීක්ෂණයක් සිදුකර නොමැති බව එම කාර්යාලයේ වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ලසන්ත රත්නවීර පැවසුවේ කරුණු විකෘති කර ඇති අයුරු තවදුරටත් පෙන්වා දෙමිනි.
ඔහු පවසන්නේ මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2017 වසරේදී ලබාගත් සහල් සාම්පල් 68 කට අදාළව කළ පර්යේෂණයක ප්‍රතිපල වාර්තාව පදනම් කරගෙන මෙම ප්‍රවෘත්තිය සකසා ඇති බවය.
සහල් තුළ අඩංගු වී ඇතැයි මාධ්‍ය වාර්තාවේ සඳහන් කොට ඇති ප්‍රතිශතාත්මක ප්‍රමාණය සියයට නොව දශලක්ෂයෙන් කොටස් වශයෙන් හැඳින් විය යුතු බව පෙන්වා දුන් වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ලොව කිසිදු ආහාරයක මෙවැනි ඉහළ සංඝඨක අඩංගු නොවන බව ද කීවේය.
බැර ලෝහ ආදිය පවතින්නේ අංශුමය වශයෙන් වන බැවින් ඒවා ප්‍රතිශතාත්මකව විග්රහ කිරීමක් සිදු නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය වර්ශි දන්දෙනිය මේ සම්බන්ධව සිය මුහුණු පොතේ මෙසේ සටහන් කර තිබිණි.
“රටින් ගෙන්නපු හාල් වල තියෙන බැර ලෝහ ප්‍රමාණය පත්තර දෙකකින් වාර්තා කරල…“
“ඔයකියන තරමට බැරලෝහ තියේනම් දෙයියනේ අපේ දත් කැඩෙන්න ඕනෙ කනකොට. මොකද හාල් ඇට නෙවෙයි ලෝහ කැබලි හාල් කුඩු තවරලා වෙන්න ඕනෙ එවල තියෙන්න.“
“සදාචාරත්මක නොවන… කරුණු සොයා නොබලා කරන මේ වගේ මාධ්‍ය වාර්තාකරණය මිනිස්සු අතරෙ අනියත බියක් ඇති කරනවා…“
“ පත්තරේට මේ තරම් වරද්දලා දාන්න ඒවයෙ ලියන්නෙ බබාල ද?.“ මේ පත්තර දෙකේ හිමිකරුවන් දෙස විමසිල්ලෙන් බලන්නැයි අචාර්ය වර්ශි දන්දෙනිය සිය ෆේස් බුක් සටහනින් යෝජනා කරයි.
කෙසේ වෙතත් වැරදි තොරතුරු ඉස්මතු කරමින් මහජනතාව නොමග යැවීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ සිසිර කොඩිකාර පවසයි.







