ලබන වසර සඳහා දිවයිනේ සෑම පොලිස් ස්ථානයක්ම ආවරණය වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමට පොලිස්පතිගේ නියමයෙන් පොලිසියේ පරිපාලන සහ මානව සම්පත් කළමනාකරණ පරිචයක් සහිත පිළිගත් ජ්‍යෙෂ්ඨයින්ගෙන් යුතු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයකින් තෝරාගත් සුදුස්සන් ලයිස්තුව වෙනස් කිරීමට සුපුරුදු පරිදි දේශපාලන බලපෑමක් එල්ලවෙමින් ඇති බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරයි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ලබන වසර සඳහා දිවයිනේ පොලිස් ස්ථාන සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ පසුගිය දා පැවැත්විනි. දිවයිනේ පොලිස් ස්ථාන සියල්ලම ආවරණය වන පරිදි පැවැත්වූ මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා දැනට පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කරන නිලධාරින් ද කැඳවා තිබිණි. විධිමත් අපක්ෂපාතී ක්‍රමවේදයක් තුළ පිළිගත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේ නිලධාරීන් ඇගයීමට ලක් කෙරිනි. මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා දහසක වැඩි නිලධාරීහු පිරිසක් මුහුණ දුන්හ. එම ක්‍රියාවලිය සම්බන්ධව අතිශය බහුතරකගේ ප්‍රසාදය ද හිමි වී තිබිණි.
එසේ තිබිය දී අවසන් ලේඛණයට අත්සන් කිරීමට පෙර එම ලේඛනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගෙන්වාගෙන තිබේ.
පොලිසිය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මේ වනවිට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් යළිත් බස්නාහිර පළාත සඳහා ස්ථානාධිපතිවරුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.
කෙසේ වෙතත් තමන් විසින් නිශ්චිත විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ලකුණු ලබා දී තෝරාගත් ලයිස්තුව යම් කිසි ආකාරයකින් වෙනස් වී පැමිණියහොත් ඊට අනුමැතිය දීමට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ලෙස තමන් සූදානම් නැතැයි එහි සාමාජික නිලධාරීන් පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවගෙන් කළ විමසීමක දී මේ සම්බන්ධව නිශ්චිත තොරතුරු තව දින දෙකකින් ලබා දිය හැකි බව පැවසුවේය.
මෑත කාලීන පොලිස්පතිවරුන්ගෙන් පොලිසිය දේශපාලනීකරණය කිරීමෙන් වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාදාමයකට ප්‍රවේශ වන්නේ හිටපු පොලිස්පතිවරයෙක් වූ එන්.කේ ඉලංගකෝන්ය. ඔහුට පෙර සිටි මහින්ද බාලසූරිය ප්‍රාදේශීය දේශපාලකයින්ටත් සර් කියූ පුද්ගලයෙකි. ඉන් අනතුරුව පොලිස්පති වූ පූජිත් ජයසුන්දර දේශපාලනයට නතු වුව ද පොලිස්පතිවරයා ලෙස සිය බලතල අදාල අවස්ථාවල දී භාවිතා කළේය.
වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිසිය දේශපාලන බලපෑමෙන් මුදා ගැනීම සඳහා යම් උත්සාහයක නිරත වන බව පොලිස් ආරංචි මාර්ග කියයි. එහෙත් පොලිසිය තුළින්ම මතු වී ඇති දැඩි දේශපාලන හැසිරීම හේතුවෙන් ඔහුට සිය ධූරයේ රාජකාරිය කරගැනීමට නොහැකි නාමික පොලිස්පතිවරයෙක් බවට පත් වෙමින් ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.