මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කිරීම සඳහා ඊට උනන්දුවක් දක්වන පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවීමට අද මුල් වරට රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී තීරණය වී ඇත.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන කොමිෂන් සභා සදහා සාමාජිකයන් ලෙස පත්කිරීමට අයදුම්පත් කැඳවමින් පුවත්පත් දැන්වීම් පළ කෙරෙනු ඇති අතර එම අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා දැන්වීම පළ කළ දින සිට සති දෙකක (02) කාලයක් ලබා දෙනු ලැබෙන බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ වගන්තියේ උපලේඛනගතව දක්වා ඇති පරිදි මෙම කොමිෂන් සභා ස්ථාපිත කිරීම පිළිබඳව අද ව්‍යවස්ථාදායක සභාව විසින් සාකච්ඡා කරනු ලැබ ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද (.25) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මෙන්ම මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න සහභාගී වූහ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් නොවැලැක්විය හැකි හේතුවක් මත අද දින රැස්වීමට සහභාගී නොවන බව දන්වා තිබිණි.
එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානී රෝහණදීර ද මීට එක්ව සිටියහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නෛතික ප්‍රතිපාදන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලැබී ඇති බලතල මෙන්ම සභාවේ ඉදිරි කටයුතු පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රාජකාරි සහ කාර්යයන් ස්වාධීනව, වගවීමකින් සහ විනිවිදභාවයකින් යුතුව ඉටු කිරීමට ද ඒකමතිකව එකඟත්වය මෙහිදී පළ විය







