ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යැයි එම කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය ප්‍රකාශ කිරීම පසුවට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
එම නියෝගය නිකුත් කළේ අද (07) ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී ය.
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලි කප්පාදු නොකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කළ විධානයක් උල්ලංඝනය කිරීම තුළින් අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් එම කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
පැමිණිල්ල අද විභාග වුනේ දෙවැනි දිනටය. එහිදී පැවති කරුණු විභාගය අවසන්වීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබුණි.
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වනදා දක්වා කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම කොමිසම හමුවේ සමථයකට එළඹුණු බවත් පසුව එය විධානයක් වශයෙන් නිකුත් කිරීමට කටයුතු කළ බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල මගින් සඳහන් කර තිබේ.
පසුව එම විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් මානව හිමිකම් කොමිසමේ අධිකාරී බලයට අගෞරව කර අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් එම කොමිසම විසින් මෙම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
එහෙත් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ, මානව හිමිකම් කොමිසමට මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතිමය බලයක් නොමැති බවය.
එබැවින් අදාළ පැමිණිල්ල ප්‍රතික්ෂේප කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
කෙසේ වෙතත් විශේෂ අවස්ථා කීපයක දි හැර අපොස උසස්පෙළ විභාගය පවතින මුළු කාලසීමාව තුළම අඛන්ඩ විදුලි කප්පාදුව තවමත් සිදුවෙමින් ඇත.







