විශාල බෝ ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් රැඳවියෙකු මිය යෑම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ ( 01) රාත්‍රියේ 10.15ට පමණ සිදුවූ මෙම අනතුරින් එක් රැඳෙවියෙක් මිය ගොස් තිබුණු අතර තවත් 11 දෙනෙකු තුවාල ලැබුවේය. ඔවුන් ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලේ වෙත යොමු කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරතපල බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.
ගසේ අත්ත කඩා වැටී ඇත්තේ බන්ධනාගාරයේ ජී සහ එෆ් වාට්ටු මතටය. අනතුර සිදුවන අවස්ථාවේ දී එම ගොඩනැගිල්ල තුළ රැඳවියන් 100ක් පමණ රඳවා සිට ඇත.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මාතර මිදිගම තුර්කි ගම්මානයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු මත්ද්‍රව්‍ය චෝදනා මත මාස දෙකක සිරඳඬුවම් විඳිමින් සිට ඇත.
තුවාල ලැබු රැඳවියන් අවුරුදු 25ත් 52ත් අතර වයස්වල පසුවන දෙනිපිටිය, මිරිස්ස, වැලිගම, ගාල්ල, මාතර, ගන්දර, බටපොල, දෙයියන්දර, ගල්ගමුව ඇතුළු විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක පැවසුවේ
සිද්ධියෙන් පසු බන්ධනාගාර නිලධාරීන් විසින් ඉතිරි රැඳවියන් ආරක්ෂිත ගොඩනැගිල්ලකට රැගෙන ගොස් ඇති බවය.
මෙම හදිසි තත්ත්වය තත්ත්වය හේතුවෙන් පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව බන්ධනාගාරය පිටත ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු පැවසුවේය.







