කුවේට් රාජ්‍යයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව වරදකරු වී අධිකරණය විසින් ඝාතනය කළ පුද්ගලයාගේ දේහය කොළඹට රැගෙන පැමිණි පසු ඔහුගේ බිරියන් තිදෙනෙක් දේහය සඳහා අයිතිවාසිකම් කීමට ඉදිරිපත් වීමත් සමග දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද (03)දින දක්වා කල් තැබීමට සිදුවූ බව මීගමුව රෝහලේ ආරංචි මාර්ග පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට වරද කරු වී මෙසේ කුවේට් රටේ දී එල්ලා මරා දැමුවේ අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයාගේ දේහය කොළඹට රැගෙන විත් මීගමුව උසාවියේ දි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන විට කාන්තාවන් තිදෙනෙක් දේහයට හිමිකම් කීමට ඉදිරිපත් වී ඇත.
මෙම කාන්තාවන් තිදෙනාටම විවාහ සහතික තිබි ඇති අතර ඔවුන් තිදෙනාම මෙම පුද්ගලයාගෙන් දරුවන් ලබා ඇත.
මුල්ම විවාහයට හිමිකම් කියන කාන්තාව මැල්සිරිපුර පදිංචි කාරියක් බව පොලිසිය පවසයි. ඇය මෙම පුද්ගලයා සමග විවාහ වී වසර 17කි. ඔහුට දාව ඇයට දරුවන් දෙදෙනෙකු සිටී.
ඇය අද දින ඇයගේ විවාහ සහතිකය ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඇය විවාහ සහතිකය ඉදිරිපත් කළහොත් ඉතිරි කාන්තාවන් දෙදෙනාට මෙම පුද්ගලයා පිළිබඳව ඇති නීත්‍යානුකූල භාවය අහෝසි වන බවත් පොලිසිය කියයි.
ඔවුන් තිදෙනාම මේ තැනැත්තා වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ රක්ෂණ වන්දි මුදල අපෙක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.
මුල් කසාද බිරිය පොලිසියට ප්‍රකාශයක් දෙමින් පවසා ඇත්තේ අන්තර්ජාලයේ පලවූ තොරතුරු දැක පුතා විසින් තම සැමියාගේ මරණය සම්බන්ධව තමන් දැනුම්වත් කළ බවය. එහෙත් තමන්ට මරණය භාරගත නොහැකි බවත් අවසන් කටයුතු සඳහා එක් විමට අවස්ථාව දෙන ලෙසත් ඉල්ලා ඇත. ඉතිරි කාන්තාවන් දෙදෙනා ද මෙම පුද්ගලයාගේ මෘත දේහය භාර ගැනීමට ඉදිරිපත් වී නැත.
තවමත් ජීවතුන් අතර සිටිනා ඔහුගේ මවද සිය පුතාගේ මෘත දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ වනවිට ඔහුගේ සහෝදරයෙක් සිරුර භාර ගැනීමට ඉදිරිපත් වී ඇති අතර කසාද බිරිය මාර්ගයෙන් ඔහුට දේහය ලැබුණු පසු ගමට එය රැගෙන නොයා මීගමුවේ දීම අවසන් කටයුතු කිරීමට ඥාතීහු අපේක්ෂා කරති යි වාර්තා වේ.







