බීබීසී –
අද (ජූනි 13) උදෑසන බෝම්බ තර්ජනයක් පිළිබඳව වාර්තා වීමෙන් පසු දකුණු ෆුකෙට් දූපතේ සිට නවදිල්ලිය බලා පිටත් වූ Air India ගුවන් සේවයට අයත් AI 379 ගුවන් යානය ආපසු ගුවන් තොටුපළ වෙත හරවා යැවූ බව තායිලන්තයේ සිටින බීබීසී වාර්තාකරුවෝ පැවසූහ.
ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවිවලට අනුව, මගීන් 156 දෙනෙකු රැගත් ගුවන් යානය එරට වේලාවෙන් උදෑසන 09:15 ට ගුවන්ගත වී තිබේ. ගුවන් ගතවී විනාඩි 15කින්, එනම් එරට වෙලාවෙන් පෙරවරු 9.30ට යානයේ බෝම්බ තර්ජනයක් පිළිබඳව යානයේ නියමුවා ගුවන් ගමනාගමන පාලක මැදිරියට දැනුම් දුන් බව ෆුකෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැවසීය.
ඒ අනුව, ගුවන් යානය හදිසි ගොඩබෑමට අවසර ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිට ඇත. පසුව අන්දමන් මුහුද වටා පුළුල් ලූපයක් සාදා පෙරවරු 11.38ට යානය ආරක්ෂිතව ගොඩ බස්වා තිබේ.
හදිසි සැලසුම්වලට අනුකූලව AI 379 ගුවන් යානයේ සිටි මගීන් 156 දෙනා ගුවන් යානයෙන් ඉවත් කර ඇති බව තායිලන්ත ගුවන් තොටුපළ නිලධාරියෙක් පැවසීය.
ෆුකෙට් ගුවන්තොටුපළ ෆේස්බුක්හි සඳහන් කළේ, ඔවුන් ගුවන්තොටුපළ තුළ හදිසි අවස්ථාවක් සඳහා සූදානම් බවය..







