හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දෙන බවට සමගි ජනබලවේගය දුන් පොරොන්දුව ඉටු නොකිරීම හේතුවෙන් සභා පිහිටුවීමට එම පක්ෂ දෙක ඇතිකරගෙන තිබූ එකඟත්වය කඩවී ඇතැයි ද මේ හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද ලංකාදීප වාර්තා කරයි.
එම පුවතේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මේ පිළිබඳව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට දැනටමත් පැමිණිලි කර ඇති බවය.
හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයාට ලබා දෙන බවට සමගි ජන බලවේගය පොරොන්දු වී සිටියත් අවසාන ඡන්ද විමසීමේදී එම අපේක්ෂකයාට සහායදී ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයන් තිදෙනා පමණක් බව පැවසේ.
මේ අනුව සමගි ජන බලවේගයේ අපේක්ෂකයා එම සභාවේ සභාපති ධුරයට තේරී පත්විය. එක්තරා සංවිධායකවරයෙකු අසීමිත ලෙස මුදල් වියදම් කරමින් සභාව සමඟි ජන බලවේගයට ලබා ගැනීමට කටයුතු කළ බවට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාක්ෂිකයෝ දැඩි ලෙස චෝදනා කරති.
කෙසේ වෙතත් පක්ෂ නායකත්වය මේ ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබා නොදී පරීක්ෂණයක් පවත්වන බව පවසමින් කල්මරමින් සිටින බව දැනගන්නට ඇත.







