දිනසේන රතුගමගේ –
වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේදී පොලිස් අත් අඩංගුවට පත් හොර දැව ප්‍රවාහනය කළ කැබ් රථයක් සැකකරුවන් සමග පොලිස් ස්ථානය වෙත රැගෙන යන අතරතුරදී පොලිස් නිලධාරීන්ව යට කොට පලා යාමට කළ උත්සාහය වෙඩි තබා ව්‍යර්ථ කර සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.
ඊයේ (14) අත් අඩංගුවට ගත් මෙම නීති විරෝධී දැව තොගයේ වටිනාකම රුපියල් මිලියනය ඉක්මවා යන බව පොලිසිය පවසයි.

ඕමන්තේ සිට මරවන්කුලම දෙසට නීති විරෝධී දැව තොගයක් කැබ් රථයකින් ප්‍රවාහනය කරන බවට ඕමන්ත පොලීසියේ නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් මත නිලධාරීන් පිරිසක් එහි ගොස් දැව තොගය සමග සැකකරුවන්ව අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් පිරිස පොලීසිය වෙත රැගෙන එමින් සිටියදී කැබ් රථයේ රියදුරා පොලිස් නිලධාරීන්වද යටකොට කැබ් රථයෙන් පලා යාමට උත්සහ කර ඇත.
පොලිස් නිලධාරීන් රථයට වෙඩි තබා සැකකරුවන් දෙදෙනෙකු සමග කැබ් රථය යළි අත් අඩංගුවට ගෙන තිබේ.
දැව ජාවාරම්කරුවන් ඕමන්ත රක්ෂිත වනයෙන් නීති විරෝධීව දැව කපා යාපනය දක්වා ප්‍රවාහනය කිරීම කලක සිට සිදු කර ගෙන යන නමුත් කැළයේ ඇති විශාලත්වය හා නිලධාරීන් ප්‍රමාණවත් නොවීම නිසා මෙම දැව ජාවාරම පොලීසියට පමණක් මැඩ පැවැත්වීමට හැකි වී නොමැත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හා දැව තොගයද කැබ් ඒ රථයද වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට ඕමන්ත පොලීසිය පියවර ගෙන තිබේ.







