ශ්‍රියානි විජේසිංහ –
ජනවාරි මාසයේ සිට පෞද්ගලික ඔසුසැල් (ෆාමසි) රැසක් වැසීයාමේ අවදානමක් මතුව ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් පල කර ඇති ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ අත්සනින් ලිපියක් නිකුත් කොට ඇත.
ෆාමසිවල වාර්ෂික බලපත්‍ර අලුත් කිරිම සඳහා ජාතික නියාමන අධිකාරය වෙත යොමුකළ ඉල්ලුම් පත් රැසක්ම ප්‍රතික්ෂේප කිරීම වැසීයාමට හේතුව බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා ඇතිබව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වාදේ. ෆාමසි සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ කිසිදු හදිසි තීරණයක් ගෙන නොමැති අතර ඒ සඳහා ක්‍රියාත්මක කරන ක්‍රමවේදයේ වෙනසක් සිදුකර නොමැති බවද හෙතෙම පවසා සිටියි.
ඖෂධ ශාලාව තුළ සුදුසුකම් ලත් ඖෂධවේදියෙකු සිටිය යුතු වීම හා ඖෂධශාලාවේ පිහිටීම, ඖෂධ ගබඩා කිරිමේ පහසුකම් ආදිය සලකා බලන අතර මෙම ක්‍රමවේදය වසර ගණනාවක් තුළ ගෙන ගිය ක්‍රමවේදයක් බවද වෛද්‍ය විජේවික්‍රම පෙන්වාදේ. එමෙන්ම ඖෂධ නියාමන අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඇතැම් ඖෂධ ශාලා හිමියන් ඖෂධ පිළිබද කිසිදු දැනීමක් නොමැති අය සේවයට යොදවාගන්නා බවට පැමිණිලි ලැබී බවය. එවැනි පුද්ගලයින් ලබා දුන් වැරදි ඖෂධ හේතුවෙන් රෝගීන්ට ගැටලු මතු වූ අවස්ථා ද මතුවූ බව එම අධිකාරිය පවසයි.
දිවයින පුරා පිහිටි ෆාමසි 5000 ක වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කළ ඉල්ලුම්පත් රැසක් ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා ජනවාරි මාසය වන විට ෆාමසි රැසක් වැසීයෑමේ අවදානමක් මතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවා තිබිණි.







