කීර්ති ප්‍රනාන්දු –
-
ඔය වාර්තා අලුත් දේවල් නෙමෙයි… අපිටත් ලැබුණා. පාස්කු නිර්දේශවලට අමතරව ආණ්ඩුවට සම්බන්ධ වෙලා මේ විමර්ශනයෙ ඉන්න නිලධාරීන් 02ක ගෙ නම් දාලා ඔවුන් ගැන විමර්ශනයක් කරන්න කියලා නිර්දේශ කරලා තියනවා…
-
මේ යෝජනා ඉදිරිපත් කළේ කවුද?. හිටපු රජය. අපට එය පිළිගන්න අවශ්‍ය නෑ… පාස්කු ප්‍රහාරයේ විමර්ශන දේශපාලනයට අවශ්‍ය විදිහට ඒ අතට මේ අතට පෙරළුවා ඇති… මෙච්චර කල් නිහඬව ඉඳලා ඔයගොල්ල මේ කරන්නේ අපට අවශ්‍ය දේ නෙමෙයි… කාදිනල් තුමෝ ගම්මන්පිල ඇතුළු කණ්ඩායමට කියති!
පාස්කු ප්‍රහාරයේ අලුත්ම වීරයින් සෙට් එකක් බිහිවී ඇති බව අතිගරු මැල්කම් කාදිල් රන්ජිත් හිමිපාණෝ අද (20) පැවසූහ.
මෙතෙක් කල් පාස්කු ප්‍රහාරයේ කටයුතුවල බාධා කරමින් සිටි මේ පිරිස අද අමුතු කැක්කුමකින් පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නට පටන් ගෙන ඇති බව කී කාදිනල් හිමිපාණන් කීවේ මේ පුද්ගලයින් උත්සාහ කරන්නේ දැන් රජය පාර්ශවයේ සිට මේ පාස්කු ප්‍රහාරය පිලිබඳ විමර්ශනය කරන නිලධාරීන් දෙදෙනෙක් දඩයම් කිරීමට බවය.
මේ කොමිටියත් රජය මගින් පත් කළ එකක් බවත්, ජනාධිපති කොමිසමේ නිර්දේශවලට අමතරව අදාල නිලධාරීන් දෙදෙනාට ද දඬුවම් කළ යුතු බව ඇතුළත් කර ඇති ඒ කමිටු වාර්තාවේ අන්තර්ගත වන්නේ රජයේ අවශ්‍යතාවය මත ලබාදුන් යෝජනා බවත් කාදිනල් හිමිපාණෝ පැවසූහ.
“ආණ්ඩුවලට ඕන ඕන පදයට පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඒ අතට මේ අතට අර අතට යවන්න ඒ ගොල්ල කටයුතු කළාට ඒවා පිළිගන්න අප සූදානම් නෑ. අපට ඕන මේකට ඇත්තටම මොකක්ද වුනේ කියලා විමර්ශනය කරන්නයි.” කාදිනල් හිමිපාණෝ කීහ.
රාගම පොල්ගහ හේන ජේසු බිළිඳුන්ගේ දේවස්ථානයේ ආසිරි ගැන්වීම සහ අභිෂේක කිරීමේ අවස්ථාවට එක්වෙමින් අතිගරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ අද (20) මේ බව ප්‍රකාශ කළහ.
උන්වහන්සේ සිය අනුශාසනාව අතර මෙසේ ද පැවසූහ.
අද වැනි කාලයක අපි මේ ශ්‍රී ලංකාවේ අවුරුදු හැත්තෑ හයක කාලයක් තිස්සේ ගෙන ගිය දුර්දාන්ත පාපිෂ්ඨ ඇතැම් දුර්වලතා ඇතැම් දුර්වලතා ජය ගන්න අපි කතෝලිකයන් විදිහට ඉදිරියට ආ යුතුයි. නීතියක් නැති, සාධාරණයක් නැති, යුක්තිකරුගක්වයත් නැති, විනයක් නැති, ආගම ධර්මය ප්‍රතිපත්ති නමට පමණක් පාවිච්චි කරන, ආගමත් දේශපාලනීකරණය කරන්නට උත්සාහ කරන, භාෂාව, ආගම ජාතික නිසා මිනිස්සුන්ව භේද බින්න කරපු, භේද බින්න කරලා ඒ මගින් දේශපාලන බලය අල්ලා ගත්තු දුර්දාන්ත දේශපාලන ක්‍රමයක් වෙනස් කරන්න අපි තීරණය කළා.
ඒ තීරණය ඉදිරියටත් අපි ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතුයි එම සමාජ පරිවර්තනය ඇති කරගන්නට නම්.
විශේෂයෙන්ම මෙහිදී වැදගත් වන්නේ අපගේ පාස්කු ප්‍රහාරය පිළිබඳ යුක්තිය ලබා ගැනීමේ කටයුත්තයි.
මේ දවස්වල අපේ දේශපාලන නායකයො, මන්ත්‍රීවරු සමහර අය ආගමේ කියලා කියා ගන්න මන්ත්‍රීවරු, මෙපමණ කල් නිහඬව ඉඳලා අපි ඉල්ලන කිසිදේකට සලකන්නෙ නැතිව, ඒ අය පාර්ලිමේන්තුවෙ ඉඳලා වචනයක්වත් සඳහන් නොකර, අපේ වැඩට බාධා කරමින් හිටපු අය… දැන් අමුතු කැක්කුමකින් අපේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න පටන් අරන්.
කොමිෂන් සභාවල වාර්තා කෝ… ඒවා කොහෙද තියෙන්නේ කියමින් ප්‍රශ්න කරන්න අරන්… පාස්කු ප්‍රහාරයේ අලුත්ම වීරයො සෙට් එකක් බිහි වෙලා තියනවා මේ ගොල්ල අතරේ.
අපට ඒවයින් වැඩක් නෑ, අපි මෙච්චරකල් කිව්ව දේ නෙමෙයි ඔය කරන්නේ. අපි ඒක නෙමෙයි අපි බාලපොරොත්තු වුනේ.
අපේ ප්‍රශ්නයක් තියනවා. මේ පාස්කු ප්‍රහාරය යට කවුද හිටියෙ කියලා අපි තවම දන්නේ නෑ, අන්න ඒක අපි දැනගන්න ඕන. ඒක මේ ජනතාවගේ අයිතිවාසිකමක්. තමන්ගේ මෑණීයන්ව පියාව තමන්ගේ දරුවන්ව දරු පවුල විනාශ කරපු, දෙසීය හැත්තෑ හතරක් අපේ සහෝදර සහෝදරියන්ව…. අපේ විතරක් නෙමෙයි, දේවස්ථාවලට පැමිණ බෞද්ධ මුස්ලිම් විවිධ ජාතිකයන්ව කෑලි කෑලිවලට කඩලා විනාශ කරලා දැම්මේ කවුද?, අන්න ඒක අප දැනගත යුතුයි.
ඇත්ත තමයි. මුස්ලිම් අන්තවාදීන් හත් දෙනෙක් තමයි මේක කළේ. මේ ගැන හොඳින්ම දැනගෙන හිටිය තවත් කට්ටියක් මේක වළක්වන්න කිසිම දෙයක් කළේ නෑ. පැනලා ගියා රටෙන්. පැනලා ගිහින් වෙන රටවල්වලට වෙලා හිටියා වගකිව යුත්තෝ. ඒ නිසා ඒ කට්ටියත් දඬුවම් කරන්න ඕන.
තුන්වෙනුව ඊටත් වඩා භයනාක මේ හත් දෙනාගේ කණ්ඩායමට පුපුරණ ද්‍රව්‍ය දුන්නේ කවුද?, මේ හත් දෙනාගේ කණ්ඩායමට බෝම්බ හදන්න ඉගැන්නුවෙ කවුද?, මේ හත්දෙනාගේ කණ්ඩායමට මේවා ටයිම් කරන්න කියාදුන්නෙ කවුද?. මේව අප දැනගන්න ඕන… අන්න ඒ පිටිපස්සේ හිටියෙ කවුද කියලා
මේ නිසා අපි කතෝලික රදගුරු මණ්ඩලය පිට පිටම ඉල්ලා හිටියා සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා. අපට නොයෙකුත් විදිහේ සාක්ෂි ඉදිරිපත් වුනා මේ පාස්කු ප්‍රහාරය නිකම්ම නිකම් මුස්ලිම් හත් දෙනෙක් නිකම්ම නිකම් අන්තවාදය නිසා බොම්බ පුපුරුවා ගත්තු එකක් නෙමෙයි කියලා. ඊට වඩා ලොකු දෙයක් යටින් තියනවා කියන සාක්ෂි මතු වෙන්න ගත්තා. අදත් මතු වෙමින් තියනවා.
මේ සාක්ෂි ගැන විමර්ශනය කරන්නෙ නැතිව සාධාරණ තීන්දුවක් ගන්න අමාරුයි. අහිංසක මිනිසුන්ව එල්ලන්න අපට උවමනා නෑ, නමුත් අපට අයිතියක් තියනවා මේක පිටුපස්සේ හිටිය මහමොළකරුවො කවුද කියලා දැනගන්න. ඒ කට්ටිය කවුද කියන එක අපි දැනගන්නකම් අපි ප්‍රශ්න කරනවා.
දැන් මේ අය කියන වාර්තා බැලුවොත්… ඒ රජය විසින් පත් කරන ලද කොමිටි දෙකක්… මේ කොමිටි දෙකේ වාර්තාවල් කතෝලික රදගුරු මණ්ඩලයට රජය ලබා දුන්නා.
පළවෙනි වාර්තාවෙ තියෙන්නේ මොකක්ද?. ජනාධිපති කොමිසම දුන්න නිර්දේශම තමයි ඒකෙ තියෙන්නෙ. ජනාධිපති කොමිෂන් සභාව දුන්න නිර්දේශම ලියන්න තව කොමිටියක් පත් කරන්න ඕන ද?. හැබැයි එතන පොඩි කට්ට වැඩක් කෙරුවා. ඒ නිර්දේශවලට අමතරව දැන් රජය පැත්තේ වැඩ කරන උසස් නිලධාරීන් දෙන්නෙකුට විරුද්ධව නීතිමය කටයුතු කරන්න කියලා ඒ කොමිටියෙන් යෝජනා කෙරුවා.
ඒ කොමිටියට ඒ යෝජනා දුන්නේ කවුද?. ආණ්ඩුවමයි. ආණ්ඩුවට ඕන ඕන පදයට පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඒ අතට මේ අතට අර අතට යවන්න ඒ ගොල්ල කටයුතු කළාට ඒවා පිළිගන්න අප සූදානම් නෑ.
අපට ඕන මේකට ඇත්තටම මොකක්ද වුනේ කියලා විමර්ශනය කරන්න. මේ රටේ නායකයා අපට එක පොරොන්දවක් දීලා තියනවා. ඒ පොරොන්දුව අනුව විමර්ශනයක් ආරම්භ කරලා තියනවා. අපි ඇස් දෙක ඇරගෙන බලාගෙන ඉන්නේ අපේ නායකයා දුන්න පොරොන්දුව ඉෂ්ඨ කරයි කියලා.
ඒ නිසා වැඩිකල් නොගොස් පාස්කු ප්‍රහාරය වැනි කෲර ක්‍රියා පිටිපස්සේ හිටියෙ කවුද කියන එක, මොකටද කියන එක අපට දැනගන්න ලැබුනොත් ඒක තමයි අපට අවශ්‍ය කාරනාව.
ඒ විතරක් නෙමෙයි. මේ රටේ පහුගිය අවුරුදු 15 – 20 ඇතුළත ගංගාවල පා කර හැරපු මිනිස්සු, අතුරුදහන් කළ මිනිස්සු සුදු වෑන්වලින් උස්සන් ගිය මිනිස්සු, පාරෙ මරා දමාපු මිනිස්සු… ඒ ගොල්ල ගැනත් යුක්තිය ඉෂ්ඨ විය යුතුයි.
කාදිනල් තුමා පැවසුවේ පසුගිය වසර විසි පහ තිහ කාලය තුළ දේශපාලන බලය අවභාවිතා කරමින් මේ රටේ ගෙන ගිය දුර්දාන්ත පාලනයේ සිදුවූ අයුක්ති සහගත මානුෂික ව්‍යසනයන් පිළිබඳ දැනගැනීමට ඒ පිළිබඳව විමසීමට කතෝලිකයන් ලෙස තමන්ට ඇති සමාජ වගකීම අමතක නොකරන බවය.
ඒ සම්බන්ධව සත්‍ය දැනගැනිමට පුරවැසියන් ලෙස තමන්ට අවශ්‍ය බවය. පාස්කු ප්‍රහාරය වැනි සිද්ධි සම්බන්ධව නැවත නැවතත් ප්‍රශ්න කරන්නේ ඒ නිසා බව කාදිනල් තුමෝ කීහ.







