මාර්තු මස 09 වැනිදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නීති විරෝධී බව දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහවිසින් ගොනු කරන ලද පෙත්සම පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ලබන මැයි මස 03 දා පෙරවරු 9.45ට කැඳවීමට අධිකරණය තීරණය කර තිබේ.
පසුගිය 03 දා මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී නීතිඥ ප්‍රියන්ත නාවාන මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට ඉල්ලා සිටියේය. එම තීන්දුව පසුව දැනුම් දෙන බව අධිකරණය කළේය.
නීතිඥ සුනිල් වටවල පැවසුවේ ඒ අනුව මැයි මස 03 වැනිදා පෙත්සම් විභාගයට දින නියම කළේ යැයි අද (04) සවස් වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දීමක් කළ බවය.
“ අප හිතනවා මේ නඩුවේ අපට කරුණු තහවුරු කරන්නට පුලුවන් වෙයි කියලා. මාර්තු 09 මැතිවරණය නොපැවැත්වීම සම්පූර්ණයෙන් නීති විරෝධී බව අධිකරණයෙන් ප්‍රකාශ කරවා ගැනීමට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. “
“මෙම නඩුවේ වගඋත්තරකාර පාර්ශ්වය ලෙස සමස්ත කැබිනට් මණ්ඩලය, මහා භාණ්ඩාගාරයේ ලේකම්, මුද්‍රණාලාධිපති, පොලිස්පති, ඇතුළු වගඋත්තරකරුවන් නම් කර තිබෙනවා.”







