විදුලිගාස්තු සියයට 30කින් අඩුකළ යුතු යැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේය.
විදුලි ඉල්ලුමේ අඩුවීම, ඩොලරයේ අගය අඩුවීම හා ඉන්ධන සහ ගල් අගුරු පිරිවැය අඩුවීම හේතුවෙන් විදුලි ගාස්තු ද ඊට සමාන ලෙස අඩුවිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මෙසේ ද කීවේය.
“ 2022 පළමු කාර්තුවට සාපේක්ෂව මේ වර්ෂයේ මුල් මාස 3 තුලදී විදුලි ඉල්ලුම සියයට 18කින් අඩු වී තිබෙනවා. විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් විදුලිජනන හා සැපයුම් පිරිවැය ද පහල යනවා. මේ වසර සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කළ විදුලි ඉල්ලුම නිවරැදි නැති බව දැන් පැහැදිලියි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කළඇස්තමේන්තුව නිවැරැදියි. “
“එවැනි අඩු ඉල්ලුමක් පවතින නිසා තමයි අපි නිර්දේශ කලේ සියයට 35ක පමණ ගාස්තු ඉහළ යාමක්. නමුත් මේ තත්වය තේරුම් නොගෙන කොමිෂන් සභාවේ බහුතර සාමාජිකයින් ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා තිබු සියයට 60ක් ගාස්තු වැඩිවීම අනුමත කළා. නමුත් ලංකා විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කළ විදුලි ඉල්ලුම වෙනුවට ඊට අඩු ඉල්ලුමක් පවතින්නේ. මේ නිසා විදුලි සැපයුම් පිරිවැය පහළ යා යුතු යි.”
“විදුලි ගාස්තු ඉහල දැමීම සදහා ලංකා විදුලි බල මණ්ඩලය භාවිත කලේ අධි තක්සේරු මිලක්. ලෝක වෙළද පොලේ මිල ගණන් හා ඩොලරයේ අගය අවප්‍රමාණයට සමානුපාතිකව ගල් අඟුරු හා ඉන්ධන මිල ද පහළ යා යුතුයි. ගාස්තු යෝජනා සකස්කරන විට ලංකා විදුලි බල මණ්ඩලය ගල් අඟුරු කිලෝ එකක මිල රැපියල් 104ක් වශයෙන් පදනම් කරගෙන තිබුණත් මේ වන විට ගල් අඟුරු කිලෝ එකක මිල රුපියල් 59.60ක් විය යුතුය.
ලීටරය රුපියල් 270ක් ලෙස සැළකු දැවිතෙල් ලීටරයක නියම මිල විය යුත්තේ රුපියල් 187.50ක්. නැෆ්තා ලීටරයක මිල රුපියල් 220ක් ලෙස සළකා ලංකා විදුලිබල මණ්ඩලය ගාස්තු යෝජනා සකස් කර තිබුණා. නමුත් වෙළද පොලේ නැෆ්තා අද මිල රුපියල් 153ක් විය යුතුය. ලීටරය රුපියල් 405ක් ලෙස සැළකු ඩීසල් ලීටරයක අද මිල රුපියල් 247ක් දක්වා පහල යා යුතුය.
මේ අඩු මිල ගණන් වලට ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා දී විදුලි පාරිභෝගිකයාට සහන සැළසිය යුතු ය. මාර්තු 30 වැනි දින අපි ලංකා විදුලි බල මණ්ඩලයට නිර්දේශ කළා මේ සියලු සාධක සළකා බලා විදුලි ගාස්තු අඩුවීමක් යෝජනා කරන්න කියලා.
ඉහල විදුලි ගාස්තු වලින් දැඩිව පීඩාවට පත්ව සිටින ගෘහස්ත අංශයේ ලක්ෂ 50ක පමණවන විදුලි පාරිභෝගිකයින්ට හා කුඩා ව්‍යාපර වලට කඩිනමින් සහනයක් සැපයීම සඳහා විදුලි ගාස්තු අඩු කළ යුතු යි.
ඉන්ධන මිල ගණන් පහළ යාමේ වාසිය ජනතාවට වහා ලබා දිය යුතු බවට මුදල් අමාත්‍යංශයද නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව තවදුරටත් කල් නොදමා විදුලි පාරිභෝගිකයාටද සහන සැලසීමට පියවර ගත යුතුයි.
සභාපතිවරයා කීවේය.