විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව විසින් තෝරා ගත් ජනාධිපතිවරයා අසීරුතාවයට පත් කරනු ලැබුවේ දෙපාර්තමේන්තුවේ ඉහළ පරිපාලනයේ සාවද්‍ය තොරතුරු බවත්, සංඛ්‍යා දත්ත තොරතුරු සියල්ලම දෙපාර්තමේන්තුව සතුව තිබෙද්දී විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව පවතින සත්‍ය තත්ත්වය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් විෂය භාර ඇමතිවරයාට අනාවරණය නොකිරීම කණගාටු දායක තත්ත්වයක් බවත්, ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වත්මන් විෂය භාර අමාත්‍යවරයා රජයේ කාර්යභාර්යයෙන් තුනෙන් එකක වගකීම් ආවරණය කරමින් දුෂ්කර කටයුත්තක නිරතවෙද්දී පවතින තත්ත්වය කොතරම් කටුක වුවද එහි යථාර්ථය ඔහු වෙත පැවසීමේ යුතුකමක් හා වගකීමක් ඉහළ නිලධාරීන් වෙත තිබුණු බව එම සංගමය අවධාරණය කරයි.
ගෝලීය කොවිඩ් වසංගතයට පසු වැඩිවන විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුමට සාපේක්ෂව අවශ්‍ය ධාරිතාවෙන් නව හිස් ගමන් බලපත්‍ර ඉල්ලීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත්වීම, ජාත්‍යාන්තර ප්‍රමිතිගත අධි තාක්ෂණික ලියවිල්ලක් වූ විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය වෙනුවෙන් ටෙන්ඩර් ප්රදානය කළ සමාගම්වල ශඛ්‍යතා අධ්‍යයනයක් නොකිරීම නිසා අවශ්‍ය ධාරිවෙන් ගමන් බලපත්‍ර ලබා ගත නොහැකි වීම, එම අවශ්‍ය ගමන් බලපත්‍ර ප්‍රමාණය මුද්‍රණය කර ලබා දෙන දින වකවානුවක් පිළිබඳ අදහසක් ටෙන්ඩරය ලබා ගත් සමාගමට නොමැති වීම, පවතින ක්‍රමවේදය හෝ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට ඉහළනිලධාරීන් කටයුතු නොකිරීම මෙම අර්බුදයට හේතුව බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය කියයි.
ඔවුන් පෙන්වා දෙන්නේ පැරණි දේශපාලන අධිකාරියේ හිතවත්කම් මත තනතුරු ලබාගත් කීපදෙනාගේ අත්තනෝමතික හැසිරීම ඒ අකාරයෙන්ම පවතින බව පවසන සංගමය එය යාවත්කාලීන කරමින් මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා ගත නොහැකි බව ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබේ. මහ ජනතාව අසීරුතාවයට පත් කළ මෙම නිලධාරීන් හඳුනා ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් කර ඔවුන් රටට හෙළි කිරීම රජයේ වගකීමක් බව එම සංගමය පවසයි.
ඔවුන් විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.








