කීර්ති ප්‍රනාන්දු –
නිකවැරටිය ප්‍රදේශයේ වී ගබඩා 02 ක පරණ වී කිලෝ ලක්ෂ 15ක් ගබඩා කිරීමට වගකිවයුතු නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඒ සම්බන්ධව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වයඹ ගොවි සංවිධානවල ගොවීන්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ලද තොරතුරකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

මේ සම්බන්ධව විගණන නිලධාරීන් සිදුකළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ අදාල වී ගබඩා තුළ වී කිලෝග්‍රෑම් ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබී ඇති අතර ඉන් වී කිලෝග්‍රෑම් ලක්ෂ 03 කට අධික ප්‍රමාණයක් සත්ත්ව ආහාර සදහා යොදාගැනෙන ඉතාමත් පරණ වී බවය.
අදාල නිතිවිරෝධී වී මිලදී ගැනීම හා ගබඩා කිරීම සිදුකළ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමණාකාරවරයා සහ අදාල ගබඩාව භාරව සිටි සහකාර ප්‍රාදේශීය කළමණාකාරවරියගේ සේවය, කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නියෝගයෙන් වහාම තහනමට ලක් කෙරී ඇත.
නිකවැරටිය ප්‍රදේශයේ ඇති එම වී ගබඩා දෙකම එදිනම විගණන නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
අදාල සිදුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ද පරීක්ෂණයක් සිදු කෙරේ.







