මනම්පිටිය නිමල් ජයරත්න –
නාලිකා දෙකක් විසින් ඔවුන්ගේ උවමනාවන් සපුරා ගැනීම සඳහා වපුරවන බොරුවලට නොරැවටෙන ලෙසත් විපක්ෂය දිගින් දිගටම ප්‍රචාරය කරන මඩ ප්‍රහාරවල ස්වරූපය තේරුම් ගන්නා ලෙසත් නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් පැවසුවේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) දිනයේ දිඹුලාගල ඇල්ලේවැව අසරණ පවුලකට ස්ථිර නිවසක් හිමිකර දීමේ එක්වීමෙන් අනතුරුව පැවැති ජන හමුව අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් කතා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
” බොරු කියන එක හොඳ නෑ, නාලිකා දෙකක උවමනාවට ඔය ගොල්ලෝ බොරු අහන්න එපා. විපක්ෂයේ මඩ ප්‍රචාරවලට රැවටෙන්න එපා.”
“මේ ආණ්ඩුව වැරදි කරලා තියෙනවා නම් උසාවි වලට ගිහිල්ලා දඬුවම් දෙන්න. අපි විපක්ෂයේ ඉද්දි උසාවි ගියා, අධිකරණයට ගියා, ෆයිල් බාර දුන්නා, ඒවාගේ පරීක්ෂණ ආරම්භ වෙලා තිබෙනවා. සමහර අය හිරගෙවල් වලට ගිහිල්ලා තියෙනවා… සමහර අය හිර ගෙවල් වලට යන්න බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න එක්කෙනා එළියෙ ඉන්නේ…
මේ ආණ්ඩුව ජනතාවට වරදක් කරලා නැහැ. මේ ආණ්ඩුව වරද කරලා තියෙන්නේ විපක්ෂයට. විපක්ෂයට අපි වැරදියි. අපි මේ කරන හොඳ දේවල් නිසා ඒ අයට, නැවත බලයට එන්න බැරිවෙයි කියලා බය වෙලා ඉන්නෙ. අපි මේ අවුරුද්ද තුළ ගෙවල් 31,000 ක් හදනවා. ඒවා හදන්න අපි ගමට එනවා,
අපි නිවරදිව වැඩ කරමින් ඉන්නවා. නිවැරදිව වැඩ කරන්න කරන්න, විපක්ෂය බය වෙනවා. දිට්වා සුළි කුණාටුවට අහුවුන අයට සහන දෙද්දී ඒ අය කියනවා ඉතිහාසයේ කවදාවත් අපට මේ වගේ සහන ලැබිලා නෑ කියලා.
අපි ආපු ගමන් තෙල් මිල අඩු කළා… ගෑස්මිල අඩු කළා… අපි අවුරුද්දක කාලයේදී විශාල සහනාධාර ජනතාවට ලබාදීලා තියෙනවා. ගිය අවුරුද්දේ උතුරු නැගෙනහිර වගේම මේ පළාත්වල නිවාස හත්දහක් අපි හැදුවා. දිට්වා සුළි කුනාටුවෙන් විනාශ වූ කුඹුරු අක්කරයක් සඳහා ලක්ෂ එකහමාරක මුදලක් අපි ගොවීන්ට ලබාදීලා තියෙනවා.
මේ තරම් සහන දීපු ආණ්ඩුවක් ඉතිහාසයේ කවරදාවකවත් බිහිවෙලා නැති බවද ටී.බී. සරත් මහතා වැඩිදුරටත් කීවේය.







