අද දිනය තුළත් පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල මණ්ඩලය පවසයි.
මෙම විදුලි කප්පාදුව සිදුකරන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව සහ මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකළ නිර්දේශ නොසලකා හැරීම පිළිබඳව එම කොමිෂන් සභා විසින් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඇති අවස්ථාවේ දී ය.
උසස් පෙළ විභාගය අවසන් වන මේ මස 17 වනදා දක්වා කිසිදු ආකාරයක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී නැත. මෙවර උසස් පෙළ විභාගයට සිසුහු තුන් ලක්ෂ තිස් එක්දහසක් පෙනී සිටිති.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසමේ ඉල්ලිම අනුව විදුලිය උත්පාදනය සඳහා අතිරික්ත ජලය නිකුත් කිරීමට ජල කළමණාකරණ ලේකම් කාර්යාලය එකඟ වීමත් සමඟ පසුගිය 30 සහ 31 යන දින දෙකෙහි විදුලි කප්පාදුවක් නොකර පවත්වා ගැනීමට හැකි වුවත් අතිරික්ත ජලය නිකුත් කිරීම තව දුරටත් සිදුකළ නොහැකි බව එම ලේකම් කාර්යාලය විසින් දැන්වීමත් සමග යළිත් ඊයේ සිට විදුලි කප්පාදුව ක්‍රියාත්මක විය.
ඒ අනවු අදත් පැය 2යි විනාඩි 20ක් විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වේ.
උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසම සහ ලංකා ගුරු සංගමය ඊයේ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවේය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිස ඇත.









