දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිට පසුගිය මාර්තු 21 දා රාත්‍රියේ දී සිදුකළ ද්විත්ව ඝාතනය සිදුකළ වෙඩික්කරුවෙක් ඊයේ (07) අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ ගන්දර පොලිසිය වෙත නීතිඥයෙක් මාර්ගයෙන් භාර වීමෙන් අනතුරුවය. වෙඩික්කරු සමග තවත් සැකකරුවෙක් භාර වී ඇත. මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට භාර වීමෙන් අනතුරුවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 35 වයස්වල පසුවන ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
පසුගිය 21 වැනිදා දෙවුන්දර විෂ්ණු දේවාලය ඉදරිපිට දී යතුරු පැදියක ගමන් ගත් 29 හැවිරිදි පසිඳු තාරක හා 28 හැවිරිදි යොමේෂ් නාදීශාන් නැමැති දෙවිනුවර ප්‍රදේශයේම පදිංචි තරුණයින් දෙදෙනා ඝාතනය කර තිබුණේ පසුපසින් පැමිණි වෑන් රියේ ගැටීමට සලස්වා ඔවුන් බිම වැටුන පසු ටී -56 සහ මිලි මීටර් 9 පිස්තෝල ගිනි අවිවලින් වෙඩි තැබීමෙනි.
මින් පෙර ඝාතන සිද්ධිය සම්බන්ධව පුද්ගලයින් තිදෙනෙක් පොලිස් විමර්ශන අංශ විසින් අත් අඩංගුවට ගත්තේය. අඩංගුවට ගත් තිදෙනා අතර වෙඩික්කරුගේ බිරිය බව කියන කාන්තාවක් ද විය. සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණය කරගෙන තිබුණේ ඩුබායි හී සැඟව සිටින ෂෙහාන් සත්සර හෙවත් ‘බාලේ මල්ලි’ නම් අපරාධකරු විසින් මෙම ඝාතන මෙහෙයවා ඇති බවය.







