දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පැවතීම හේතුවෙන් මෙම කාලගුණ වෙනස සිදුවී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක ට වැඩි තද වැසි ලැබෙනු ඇත.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවේ.
උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40-50 පමණ තද සුළං ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටී.







