පොලිසිය බරපතල මෙහෙයුම් සිදුකරන බව පොලිස්පතිවරයාම කීවේය. එහෙත් එක එකා මරාගැනීම් අහවර නැත. අද දවසේ වෙඩිල්ලත් පත්තුවී තිබේ. ඊයේ වෙඩි තබා එකෙක් මරා දැම්මේය. දැලි රැවුල් පැමිණි ගමන් කොල්ලෝ ගිනි අවි අතට ගෙන මිනී මැරීම ආරම්භ කර ඇත. ඊයේ මරා දැමුනේ 21 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ ඝාතන සිද්ධියට අත් අඩංගුවට පත් වන්නේ අවුරුදු 19 සහ 20 වයස්වල තරුණයින්ය.
ඊයේ (24) අළුයම මෙම තරුණයා ඝාතනය කරන්නේ සංගීත සංදර්ශනයක් නරඹා පා ගමනින් එද්දීය. බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනි බුලත්සිංහල මාවතේ දී මෙම ඝාතනය සිදුවන්නේය. ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා මෙම තරුණයා ඝාතනය කර තිබිණි. පා ගමනින් පැමිණි තවත් තරුණයෙක් වෙඩි වැදීමෙන් තුවාල ලබා දැන් රෝහල්ගතවය.
සිද්ධිය සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (24) දිනයේදී දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගන්නේය. උන් එම ප්‍රදේශවල පදිංචි අවුරුදු 19-20 වයස්වල පසුවන්නන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට භාර දී ඇත්තේය.
අද (25) අළුයම වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කරගෙන වෙඩි තැබීම සිදුවන්නේ ඒ අතරය. වෙඩික්කරුවන් යතුරුපැදියකින් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව තිබුණේ නැත. වෙඩි තැබීම සම්බන්ධව ඔවුන් පොලීසිය වෙත පසුව පැමිණිලි කර තිබිණි.
වෙඩිතැබීමට පැමිණි පුද්ගලයින්ගේ ජංගම දුරකතනයක් සහ වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල වර්ගයේ ගිනි අවියේ මැගසීනයක් ජීව උණ්ඩ 6ක් සහ හිස් පතොරොම් කොපුවක් මෙන්ම සැකකරුවෙකුගේ යැයි සැක කරන ජංගම දුරකථනයක් අදාල ස්ථානයේ තිබී සොයා ගත්තේය.
වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
මේ වෙඩි තැබීම් පාලනය කරගැනීමට නොහැකි තරමට මේ පාතාල ජාලවල හැසිරීම් විහිදි තිබේ. ප්‍රදේශයේ කුඩු ග්‍රෑම් කීපයක් වැඩිපුර විකුණා ගැනීමට මිනී මරාගන්නා තරුණයින් මතු වී ඇත. උන්ව මෙහෙයවන්නේ රටෙන් පිට සිටින සංවිධානාත්මක අපරාධකරුවන්ය. උන්ගේ ඇම්බැට්ටයන්ය. මිනියක් මරා පොරක් වීම අමුතුම මානසික ව්‍යාධියක් සංවිධානාත්මක අපරාධකරුවන් අතර පැතිරෙමින් තිබේ. මරන්නේ කවරෙක් ද යන්න හෝ උන්ට ගැටලුවක් නැත.
ඊයේ අත් අඩංගුවට ගත් ඝාතකයෙක් සහ පැදිකරුවෙක් පිළිබඳ කතාව මේ පාතාලයේ හැසිරීම යළිත් අපට තහවුරු කොට පෙන්වා දෙයි. පසුගිය 03 වැනිදා ගන්දර පොලිස් වසමේ කපුගම ප්‍රදේශයේදී සිය නිවසේ සිටි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (24) පොලිස් අත්අඩංගුවට පත් විය. විමර්ශන මෙහෙයවා තිබුණේ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගිනි. පුද්ගලයින් දෙදෙනා අත් අඩංගුවට ගන්නේ වැල්ලම්පිටිය සහ ගණේමුල්ල පොලිස් වසම්වලදී ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ එකී අපරාධය සඳහා පැමිණි වෙඩික්කරු සහ යතුරුපැදිකරුය. ඝාතනය සඳහා ඔවුන් යොදා ගනු ලැබූ යතුරුපැදියද පොලිස් භාරයට පත් විය. සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී විදෙස් රටක සැඟවී සිටින පරාධකරුවන්ගේ කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී තිබිණි.
ඝාතකයින් කර ඇත්තේ කුලී කොන්ත්‍රාත්තුවකි. මරන්නේ කවුද කුමක් නිසාද යන්න උන් දන්නේ නැත. අප බියපත් කරන්නේ මේ තත්ත්වය ය.
මේ වනවිට මේ සංවිධානාත්මක අපරාධකරුවන් ද ස්වකීය උපක්‍රම වෙනස් කරමින් සිටී. පොලිස්පතිවරයා කීවේ ඉන්නා රටින් වෙනත් රටවලට පැන පැන උන් ඉන්නා බවය. මේ වනවිට ජපානය තුළ ගණේමුල්ල සංජීවගේ කුප්‍රකට ගෝලයෙක් වූ දිප්පිටිගොඩ ලහිරු ඇතුළු පාතාලයින් දස දෙනෙකුට වඩා පිරිසක් පැමිණ සිටින ආකාරය ජපානයේ ශ්‍රී ලාංකිකයින් විසින් වාර්තා කරමින් ඇත. එම පිරිස අතර රටට කුඩු කිලෝ හාරසියකට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කර අත් අඩංගුවට ගත් යාත්‍රාවක හිමිකරු ද සිටින බව වාර්තා වී ඇත. ඩුබායි රාජ්‍යයේ සිට මේ පිරිස් මේ වනවිට විතැන්වන ප්‍රධාන ස්ථානයක් වී ඇත්තේ ජපානය බව පෙනී යන බව එම පිරිස් පවසති.
දිප්පිටිගොඩ ලහිරු ඇතුළු කණ්ඩායම ජපානයේ ශ්‍රී ලාංකික අවන්හලක් විවෘත කර විවෘත කළ දින දෙක තුළ රුපියල් කෝටි ගණනක් වියදම් කර පැවැත්වූ සාදයක් ගැන ඔවුහු වාර්තා කරති.
අප හිතනවාට වඩා තත්ත්වය බරපතලය. නව පොලිස්පතිවරයාට ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු අභියෝග ගණනාවක් තිබේ. පාතාලය මුලින් උපුටා දැමීමේ ආතල් කතාව ප්‍රායෝගික කිරීමට බොහෝ ශ්‍රමයක් කාලයක් මෙන්ම අවංක කැපවීමක් සම්බන්ධ අපේක්ෂාවක් ඇත. අපේ පොලිසිය ඊට සූදානම් දැයි තවම අපට වැටහීමක් නැත.







