දැන් රටේ මූල්‍ය තත්ත්වය පවතින ආකාරය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගත්තද ගොඩ ගත හැකිවේද යන්න අවිනිශ්චිත බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා අද (21) පැවසීය.
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මඟ හරින්නේ මෙරට මූල්‍ය කළමනාකරණය පිළිබඳව විනිවිදභාවයක් පවත්වා ගන්නට සිදුවන නිසා බවත් එසේ කළහොත් ඔවුන්ට ඉදිරි ප්‍රාදේශීය සභා ඡන්දය ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන වැඩ ලක්ෂයේ මුදල් වියදම නතර කිරීමට සිදුවන බවත් මන්ත්‍රිවරයා තවදුරටත් සඳහන් කළේය.
ආචාර්ය හර්ෂ මේ බව සඳහන් කළේ සිය පක්ෂය විසින් සෑම සඳුදාම පවත්වනු ලබන ආර්ථිකය පිළිබඳව දැනුවත් කරන මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් ආචර්ය හර්ෂ ද සිල්වා මෙසේද පැවසීය.
“ අද රට දුවන්නේ ඉතාම අවිනිශ්චිතතාවක. කොයි වෙලාවේ මේ එන්ජිම නවතීද දැන්නේ නෑ. තෙල් නෑ විදුලිය නෑ. ලොකු අර්බුදයක අපි ඉන්නවා. මේ අර්බුදය පිළබඳව අපි වටහාගෙන දැනට මාස ගණනක ඉඳන් කියනවා එය විසඳ ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලට යන්න කියල. නමුත් රජය බොහොම ස්ථාවරව කියනවා නෑ අපි අයි.එම්.එෆ් යන්නේ නෑ කියල. බොහෝ අයගේ විශ්වාසයක් තිබෙනවා අයි.එම්.එෆ් ගියොත් අපිට කොන්දේසි දමයි කියල. එහෙම දෙයක් නෑ. අපිට යම් සැලසුමක් තිබිය යුතුයි.“
“ජාත්‍යන්කර මූල්‍ය අරමුදලේ සහය ශ්‍රි ලංකාවේ ඉස්සරලම ඉල්ලා ඇත්තේ ආචාර්ය එන්.එම් පෙරේරා. ඒ 1964දී. ඔහු ඊට පසුව තවත් දෙවතාවක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහය ඉල්ලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, එම අරමුදලට යන්නේ ඇයි කියල හොඳින් පැහැදිලි කරල පාර්ලිමේන්තු කතාවක් කර තිබෙනවා. ශ්‍රි ලංකාව 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඉල්ලා තිබෙනවා. නමුත් ඔවුන් අපේ සැලසුම් අනුව සහය ලබා දී තිබෙන්නේ නව වතාවක් පමණයි.“
“අද මේයට ඕන රටේ මිනිස්සු බඩගින්නේ කන්න නැතිව ඉද්දී, මුදල් අච්චු ගහල ගමට සල්ලි ටිකක් යවල හම්බ කරන්න ඉඩ දෙන්න. ඕවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් කරන්න බෑ .“
කොහොමටත් මේ වනවිට ජාත්‍යන්ර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව පිළිබඳ සමාලෝචන වාර්තාවක් සකස් කර ඇති බවත් එය ලබන 25 වැනිදා අරමුදලේ අධ්යක්ෂ මණඩලය වෙත ලබා දීමක් ගැන වාර්තා වන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා තවදුරටත් පැවසීය.







