වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සඳහා සතියකට ලීටර් 05ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එහි පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රී රෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ වෘත්තීය ත්‍රී රෝද රථ සංගම් අතර ජනාධිපති කාර්යාලයේ දී අද (24) පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව නොවැම්බර් 06 වැනිදා සිට බස්නාහිර පළාත තුළ සියළුම මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර 10ක ප්‍රමාණයක් ලබාදීම සිදු කෙරේ.
දිවයිනේ අනෙකුත් පළාත් තුළ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීම නොවැම්බර් 06 වැනිදා සිට 13 වැනිදා දක්වා සිදු කෙරෙන අතර, ඉන්පසුව එම ත්‍රී රෝද රථවලට ද නව ඉන්ධන කෝටාව ලබාදීමට සැලසුම් කර තිබේ.
දැනට ශ්‍රී ලංකාව තුළ ත්‍රී රෝද රථ දස ලක්ෂ අසූ දහසක් පවතින අතර, එයින් වෘත්තිමය මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලක්ෂ හතරක් පමණ පවතින බව ත්‍රී රෝද රථ සංගම් පවසයි.
මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලක්ෂ තුනක් පමණ මේ වන විට ශ්‍රී ලංකා පොලීසියේ ලියාපදිංචි කර තිබෙන අතර, නොවැම්බර් 13 වැනිදා වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලියාපදිංචිය සිදු කිරීමට නොහැකි වුවහොත් ආරම්භයක් වශයෙන් පොලීසියේ ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව නිකුත් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණි.
මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරු හා පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් කඩිනමින් දැනුවත් කිරීමට ද නියමිතය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.







