ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඇති ඩිපෝ 105ක් මඟින් දැනට පෞද්ගලික බස්රථ සඳහා ලබා දෙන ඉන්ධන යොදවා මගී ප්‍රවාහනයට බස් ධාවනය නොකර බස් රථකරුවන් ඉන්ධන ජවාරමක් සිදුකරන බවට ලැබෙන පැමිණිලි සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් වහාම පවත්වන ලෙස අමාත්‍යාංශ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි වෙත උපදෙස් ලබා දුන් බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
2022.07.03වන දින පමණක් පෞද්ගලික බස්රථ 5500ක ප්‍රමාණයක් සඳහා සියළු ඩිපෝ මඟින් ඉන්ධන ලබාදී තිබුනද ධාවනයේ යෙදී ඇත්තේ බස්රථ 3000කටත් වඩා අඩු සංඛ්‍යාවක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී කාර්යාලත් පෙන්වා දෙයි.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ පොදු ප්‍රවාහන සේවා පවත්වා ගැනීම සඳහා පෞද්ගලික බස්රථ වෙත මෙලෙස ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන ලබා දුන්නද, පෞද්ගලික බස්රථ රියදුරන් ඉන්ධන ලබාගෙන මගී ප්‍රවාහනයේ නොයෙදෙන බව ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංග්ස්ලි රණවක ද අමාත්‍යවරයා වෙත කරුණු දක්වා ඇත.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා විසින් අද (04) ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් සියළුම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්ටත් මේ පිළිබඳව කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස උපදෙස් දෙන තිබේ.









